Gossips

හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගනී

දේශීය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය මෙරට අද්විතීය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද දැයෙන් සමුගත්තා.
ඒ මෙරට කලාකාමී රසික හදවත් තුළ සදා නොමැකෙන නාමයක් ඉතිරි කරමින්.
රේඛාවෙන් ඇරඹි දේශීය සිනමා සන්දේශය ජාත්‍යන්තරයට රැගෙන ගිය හෙළ සිනමාවේ රිදී රේඛාව පසුගිය 29 වනදා සදහටම මැකී ගියා.
අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී ජගත් කීර්තිධර සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය දින 3 ක් පුරා මහජන ගෞරවය පිණිස තැන්පත් කර තිබුණේ කොළඹ 05 – ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේයි.
ඔහුගේ දේහය අද පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ඒමට පෙර බිරිඳ ඇතුලූ පවුලේ ඥාතීන් මේ හෘදයාංගම කළාකරුවාට අද පෙරවරුවේ අවසන් ගෞරව පුද කළේ කතෝලික ආගමික වතාවත් සිදුකරමින්.
ජාතික චිත්‍රපට සංස්ථාව ඉදිරිපිටදී කලාකරුවන් ඇතුලූ බොහෝ පිරිසක් දේහයට සිය ගෞරවය පුද කළා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය අවසන් කටයුතු සිදුකෙරුණු නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආවේ ඉන් අනතුරුවයි.
එහිදීද කලාකරුවන් දේශපාලනඥයින් ඇතුලූ බොහෝ පිරිසක් ඔහුට සිය අවසන් ගෞරවය පුද කළ අතර, එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එක්ව සිටියා.
ආචාර්ය ලෙස්ටර් සිය අවසන් කටයුතු කතෝලික මෙන්ම බෞද්ධ ආගමික සම්ප්‍රදායන්ගේ මිශ්‍රණයක් ලෙස සිදුකරන්නැයි ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව කිතුනු සහ බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණා.
සිංහල සිනමාවට රිදී රේඛාවක් එක් කළ හෙළයේ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මීට සුළු වේලාවකට පෙර සිදු කෙරුණා.
යුග යුග යා කළ මහා සිනමාවක් දැයට දායාද කළ මේ මහා යුග පුරුෂයාණන්ගේ අවසන් සුවඳ පොද ගුවන් ගැබට මුසුවුනේ නිදහස් චතුරශ්‍රයට රැස්ව සිටි ලෙස්ටර්ට ආදරය කළ, සිනමාවට ආදරය කළ සියලූදෙනාගේ කඳුලත් සුසුමත් මධ්‍යයේයි.