Gossips

දෙවන දිනටත් ජල සේවකයින් වර්ජනයේ

සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා ජල සම්පාදන මණ්ඩල කාර්යාලවල දෛනික වැඩ කටයුතු මේ වන විට අඩපණ වී තිබෙනවා.
විශේෂයෙන් ජල බිල්පත් ගෙවීම සහ නඩත්තු කටයුතු අඩාල වී ඇති බවයි වර්ජනයේ නිරත එම වෘත්තීය සමිති සඳහන් කළේ.
මේ වසරට අදාළව ප්‍රමාණවත් වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලා ජලසම්පාදන මණ්ඩල සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කළා.
කෙසේ වෙතත්, අද දිනයේදී විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ජලසම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එමෙන්ම ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද ආරම්භ කළ සංකේත වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල දෛනික වැඩ කටයුතු ද අඩපණ වී ඇති බව වාර්තා වනවා.
නාවල විවෘත විශ්වවිද්‍යාලය මේ හේතුවෙන් වසා දමා ඇති අතර හෙට දිනයේ ද මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.