Gossips

කොළඹ සහ රට වටා කම්කරු දින සැමරුම් – දෙමළ සන්ධානය සහ ජ.වි.පෙ. යාපනයේ

ලෝක කම්කරු දින සැමරුම අද නොපවත්වන ලෙසට රජය දැනුම්දී තිබුණත්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති කිහිපයක් අද මැයි දින සැමරුම් සංවිධාන කර තිබුණා.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය මේ වනවිට යාපනය – මහනගර සභා ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා.
ඔවුන් පාගමනින් යාපනය – රත්නාවීථිය හරහා යාපනය මහනගර සභා ක්‍රීඩාංගනයට පැමිණ මෙම රැළිය ආරම්භ කළා.
ඊට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ද සහභාගි වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද අද පස්වරුවේ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මැයි දින රැළියක් පැවැත්වුවා.
ඔවුන් මරදාන එල්ෆිල්ස්ටන් රගහල අසලින් අද දහවල් පාගමනක් ආරම්භ කළ අතර ඉන් අනතුරුවයි කොටුව දුම්රියපොල ඉදිරිපිටදී රැළිය ආරම්භ කළේ.
මේ අතර, දෙමළ ජාතික සන්ධානය ද මේ වනවිට යාපනය – නෙල්ලිඅඩි සහ මඩකලපුව – වෙල්ලාවලි යන ප්‍රදේශවල මැයිදින රැළි පවත්වනවා.
යාපනයේ – නෙල්ලිඅඩි ප්‍රදේශයේ පැවැත්වෙන රැළිය දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි යාපනයේ හිරු වාර්තාකරු සදහන් කළේ.
දෙමළ ජාතික සන්ධානය මෙම මැයිදින රැළියේදී යෝජනා 27 ක් ද සම්මත කර ගැනීමට නියමිතයි.
ජාතික ගැටලූවට දේශපාලන විසදුමක් ලබා ගැනීම, හමුදාව භාරයේ පවතින සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් නිදහස් කර ගැනීම, අතුරුදන් වූවන් පිළිබද සෙවීම විධිමත් කිරීම, සිරකරුවන් නිදහස් කිරීම සහ උතුරේ තරුණ තරුණයින්ට රැකියා ලබාදීම ඇතුළු කරුණු 27 ක් ඊට ඇතුළත්.
මේ අතර, වතුකරයේ කම්කරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා රතුකොඩි සමිතිය හා ලංකා වෘත්තීය සමිති සම්මේලනය අද මහනුවර දුම්රියපොල මාර්ගයේදී විරෝධතාවක් පැවැත්වුවා.
එමෙන්ම, සමෘද්ධි හා කෘෂි නිලධාරින්ගේ හා කඩුවෙල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් අද මැයිදින රැළියක් පැවැත්වුණේ තලංගම ප්‍රදේශයේදීයි.
එමෙන්ම, සමාජවාදී ජනතා පෙරමුණ ද අද නාරාහේන්පිට ප්‍රදේශයේදී මැයිදින රැස්වීමක් පැවැත්වුවා. ඊට අමතරව, සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ද අද කොළඹදී මැයිදින රැළියක් සංවිධාන කර තිබුණා.
මේ අතර මැයි දිනය සුරැකීම සඳහා වූ වෘත්තිය සමිති එකමුතුව නමින් වෘත්තිය සමිති 23 ක සහභාගීත්වයෙන් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වුණා.