Gossips

මවක සහ දියණියකට ජීවිතය අහිමි කළ යතුරුපැදි අනතුර (ඡායාරූප)

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ එකම පවුලේ සිව්දෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (30) මෙම අනතුර සිදුව ඇති බවයි අරලගංවිල පොලිසිය පැවසුවේ.
මව, පියා, කුඩා දියණියක සහ දියණියගේ මිත්තනිය යතුරුපැදියේ ගමන් කර ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ රලගංවිල, යාය 03 අංක 07 ලිපිනයේ පදිංචිව සිටි 24 හැවිරිදි රේඛා ශාමලී නමැති කාන්තාවක් සහ ආශිංශා ඉඳුමිණි නැමැති වයස අවුරුදු දෙකහමාරක ඇයගේ දියණියයි.
මොවුන් දිඹුලාගල ආරණ්‍යය සේනාසනය වැද පුදා ගැනීම සදහා යමින් සිටියදී දිඹුලාගල – මිල්ලාන මාර්ගයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍යය සේනාසනයට නුදුරුව පිහිටි ඉද්ද පිච්ච වැව අසලදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිය පැදවූ සැමියා සහ එහි ගමන් ගත් අනෙක් කාන්තාව මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මිය ගිය අයගේ මෘත දේහයන් මේ වන විට අරලගන්විල රෝහලේ තැම්පත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප – මනම්පිටිය, නිමල් ජයරත්න / පොළොන්නරුව, රොෂාන් තුෂාර