Gossips

හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි

උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු එෆ්.එම්., හිරු ටී. වී. සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට මේ වනවිටත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පූජා භූමියට පැමිණෙමින් සිටිනවා.
හිරු එෆ්.එම්., හිරු ටී වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ජේතවනාරාම පුණ්‍ය භූමිය වෙත ඊයේ (30) උදෑසන වැඩම කරවනු ලැබුවේ හේවිසි සක් හඬ මධ්‍යයේයි.
පුද බිමේ රැස්ව සිටි සැදැහැවතුන්ගේ සාධු නද ජේතවනාරාම පුණ්‍ය භූමියේ රැව් පිළිරැව් දෙද්දී සර්වඥ ධාතූන් වහන්සේ ජේතවනාරාම සළපතල මළුවේ ඉදිකර තිබූ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරුණා.
ඉන් අනතුරුවයි කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සැදැහවතුන්ගේ වන්දනාමාන සඳහා විවෘත කෙරුණේ.
සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමේ අරමුණින් ජේතවනාරාම පින්බිමට පැමිණ සිටි සැදැහැවතුන් වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මෙවරත් උදෑසන ආහාරය සහ දහම් පඩූරක් ලබාදුන්නා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමේ අටියෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මේ මොහොත වනවිටත් ජේතවනාරාම පුණ්‍ය භූමිය වෙත පැමිණෙමින් සිටිනවා.
පැමිණෙන සියලූම සැදැහැවතුන්ට අවශ්‍ය සියලූ පහසුකම් සපයාදීමට ආසියානු මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබෙනවා.
හෙට (02) අලූයම වනතෙක් ජේතවනාරාම පුණ්‍ය භූමියේදී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීමේ අවස්ථාව හිමිවනවා.