Gossips

අලුත් කැබිනට්ටුව හෙට දිවුරුම් දෙන ලකුණු

සති කිහිපයක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (01) පෙරවරුවේ සිදුවනු ඇති බවට වාර්තා පළ වනවා.
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ හෙට (01) දිවුරුම් දී එදින පස්වරුවේම කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
නව ඇමති මණ්ඩලය ලෝක කම්කරු දිනයේ දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා දඹුල්ලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබුණා.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වෙනසක් නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සිදුවනු ඇති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ අමාත්‍යාංශවල විෂය පථය බෙදීම විද්‍යාත්මක පදනමක් යටතේ සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.
පෙබරවාරි මස 10 වන දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණ ද එය සති කිහිපයක් තිස්සේ කල් ගියා.
මේ අතර, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 06 දෙනෙකු මීට සති දෙකකට පමණ පෙර සිය ධුරවලින් ඉල්ලා අස්වුණා.
මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර තංගල්ල ප්‍රදේශයේ ඊයේ (29) පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද සිදුවනු ඇති බවට දැන ගැනීමට ඇති බවයි.
එහෙත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන්නේ ඉදිරි දින කිහිපය තුලදී බවයි පාර්ලින්තු මන්ත්‍රී විජේපාල හෙට්ට්ආරච්චි හම්බන්තොට ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධන ගෙන එන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය ජනතාවගෙන් වසන් කිරිමට සදහා බවයි.