Gossips

පළාත් සභා මැතිවරණය කල් යනු ලකුණු

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු සමාලෝචන කමිටුවක් පත් කිරීමට සිදුව ඇති හෙයින් පළාත් සභා මැතිවරණය කල් යා හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සහ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා.
2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධිත පනතට අනුව සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතුවනවා.
එමෙන්ම අදාළ ක්‍රියාමාර්ගය සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාසයක් ඇතුළත නිම කළ යුතුයි.
පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පසුගිය මාර්තු හයවනදා පාර්ලිමේන්තුවේ සභා ගත කෙරුණා.
එය තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරගැනීමේ කාල විරාමය දැනටමත් අවසන්වී තිබෙනවා.
ඒ අනුව ඉදිරි පියවර වන්නේ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සමාලෝචන කමිටුවක් පත් කිරීමයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව කථානායකවරයා විසින් නම් කළ යුතුයි.
කෙසේ නමුත් පාර්ලිමේන්තු වාරය කල් තැබීම හේතුවෙන් අදාළ කමිටුව පත් කිරීම පමාවී තිබෙනවා.
ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමද කල් යාමේ අවස්ථාවක් පවතිනවා.
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පළාත් සභා නියෝජිතයින් 437 දෙනෙකු පත් කරගැනීමට නියමිත අතර ඉන් 222 ක් කොට්ඨාශ ක්‍රමයට පත් කරගැනෙනු ඇති.
215 දෙනෙකු පත් කරගැනෙන්නේ අදාළ පක්ෂ මගින් ඉදිරිපත් කරන ලැයිස්තුවලින්.