Politics Sri Lanka

අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්

අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්

“රට ගොඩ නැගීමේ කාර්යය ජ.වි.පෙ. අපිට විතරක් පැවැරී තිබෙන කාර්යයක් නොවේ. පොදු සමාජ කාර්යභාරයක්. අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්. එය ශක්තිමත් ගොඩනැඟීමකින් තොරව මෙය කරන්න හැකියාවක් නැහැ. ඔවුනුත් දේශපාලනය නරඹන්නන් නොවී කොටස්කරුවන් විය යුතුයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පවසන්නේ පසුගියදා මව්බිම පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාවකට එක්වෙමිණි…

එම සම්පූර්ණ සම්මුඛ සාකච්චාව පහතින් දැක් වේ…

පළාත් පාලන අල්ලන්න ජ.වි.පෙ. දේශපාලනයෙන් බැහැර උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් පිරිසක් සමඟ ඡන්ද සටනට යොමු වී සිටිනවා. නමුත් ජනතාව හුරු වී සිටින සාම්ප්‍රදායික ඡන්ද ක්‍රමයත් එක්ක මෙය අසාර්ථක නැද්ද?

මේ පළාත් පාලන මැතිවරණයේ අපිට අරමුණු ගොඩක් තියෙනවා. දිගු කාලයක් තිස්සේ ප්‍රබල ජනතා බලවේගයක් ගොඩනැඟීම අරමුණු කරගෙන මේ මැතිවරණයේදී ජනතාවට අපේ පණිවුඩය ගෙනයනවා. දෙවැනි අරමුණ පළාත් සභා ජයග්‍රහණය කිරීම හරහා එම ආයතනවලින් ජනතාවගේ අරමුණු ඉටුකිරීම. එහිදී ඉතා වැදගත් අපේ රටේ සාම්ප්‍රදායික, පාරම්පරික දේශපාලනය වෙනුවට සමාජයේ විවිධ ක්ෂේත්‍රවල පිරිස් දේශපාලනයට අත්‍යවශ්‍යයි. ඔවුන්ගේ නිහඬ බව තමයි විශාල ගැටලුව වී තිබෙන්නේ.

වෘත්තිකයෝ දේශපාලනයට ගෙනත් අමාරුවෙ දාන්නද මේ හදන්නේ?

කිසිසේත්ම නැහැ. එළියෙ ඉන්න අයට එහෙම චෝදනාවක් තිබුණට අපිත් එක්ක දේශපාලනය කළ බොහෝ පිරිස් නැවත අපිත් එක්ක ඉදිරිපත් වෙලා ඉන්නවා. සාමාන්‍ය දේශපාලන කෝණයෙන් බැලුවොත් මන්ත්‍රීකමක් අරමුණින් එන කෙනකුට නම් ඕක හරි.

නමුත් මේ කිසිවෙක් තමන්ට මන්ත්‍රි ධුරයක්, ලාභ ප්‍රයෝජනයක් අරමුණින් එන පිරිසක් නොවේ. ඔවුන් පොදු සමාජ ව්‍යාපාරයකට දායකත්වය සපයන්නේ. ඒ නිසා ඔවුන් ඉතාම තෘප්තිමත්. තමන්ගේ කාර්යය වගේම අපිත් ඉතාම තෘප්තිමත් ඔවුන්ගේ මැදිහත් වීම ගැන.

නමුත් චෝදනාව තියෙන්නේ මේ වෘත්තිකයන්, ශිෂ්‍ය ප්‍රජාව ජ.වි.පෙ. වාසියට පාවිච්චි කරනවා කියලා?

මේ කාර්යය ජ.වි.පෙ. අපිට විතරක් පැවැරී තිබෙන කාර්යයක් නොවේ. පොදු සමාජ කාර්යභාරයක්. අපේ රට ගොඩනැඟිය යුත්තේ පොදුජන ව්‍යාපාරයකින්. එය ශක්තිමත් ගොඩනැඟීමකින් තොරව මෙය කරන්න හැකියාවක් නැහැ. ඔවුනුත් දේශපාලනය නරඹන්නන් නොවී කොටස්කරුවන් විය යුතුයි.

ඔබේ වේදිකාවට ගොඩවෙන ඒ පිරිස්වලින් වැඩි දෙනෙක් කියනවා ජ.වි.පෙ. ගැන විවේචනයක් ඔවුන් තුළත් තියෙනවා කියලා?

අපි විශ්වාස කරනවා බොහෝ අයට යම් යම් දේවල් ගැන යම් යම් එකඟතාවන් තියෙන්න පුළුවන්. පක්ෂ සාමාජිකයන් නොවෙන්න පුළුවන්. පක්ෂයට විතරක් පැවරුණු රාජකාරි නැහැ. අප අතර පොදු එකඟතාවන් තියෙනවා. පොදු වුවමනාවන් තිබෙනවා. ඒවට අප අතර තිබෙන කුඩා කුඩා වෙනස්කම් අමතක කොට දේශපාලනය කරන්න පුළුවන්.

මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට 50%ක වැඩි ජයක් ලැබෙනවා කියලා ඔවුන් කියනවා. මහින්ද පාර්ශවයෙනුත් ඒ කතාවම කියනවා. විවිධ පාර්ශව විවිධ ඡන්ද පදනමක් ගැන කතා කරනවා. ජ.වි.පෙ. පදනම කොතැනද?

අපි මැතිවරණ ව්‍යාපාරයේ කරුණු කිහිපයක් ජයග්‍රහණ ලෙස අපේක්ෂා කරනවා. මෙයින් අපි විශාල ලෙස බලාපොරොත්තු වෙන්නේ සෑම ගමකින්ම ජ.වි.පෙ. නායකයෙක්, ක්‍රියාකාරිත්වයක් ගොඩනැඟීම. සුවිශේෂී ජයග්‍රහණයක් අපි අපේක්ෂා කරනවා. දැනට තියෙන තත්ත්වය එක්ක විශාල ප්‍රචාරයක් තිබෙනවා. ගණන් ඉලක්කම්වලට යන අතාර්කික දේශපාලනයක් අපිට නැහැ. ප්‍රතිඵල 10 දායින් පසුව අපිට බලාගන්න පුළුවන්.

ගණන්, ඉලක්කම්වලට නොයන්නේ හැමදාම ජනතාව දෙන ප්‍රතිඵලය ගැන දන්න නිසාද?

නැහැ. අපිට මතවාදී හරඹයක් මිස ඉලක්කම් හරඹයක් නැහැ. ඡන්දවලින් ප්‍රකාශයට පත් නොවන මතවාදී ජයග්‍රහණයක් අපිට තිබෙන බව අපි පිළිගන්නවා. අපි දූෂණය පරදන ජවය කිව්වම සමහරු මොට්ට කඩු අමෝරාගෙන දූෂණයට එරෙහිව කතා කරන්න සිද්ධ වුණා. ජ.වි.පෙ. තමයි මේ රටේ කේන්ද්‍රීය දේශපාලනයේ හසුරුවන්නා.

මේ කුඩා ඡන්දය ඉතිහාසයේ නොවූ ආකාරයට ආණ්ඩු පෙරළන මැතිවරණයක් වෙලා?

මේ මැතිවරණය සෑම දේශපාලන ව්‍යාපාරයකටම ඉතාම සංධිස්ථානයක්. පරාජයත් සමඟ රාජපක්ෂ දේශපාලන ව්‍යාපාරය ඉතාම අවදානමකට පත්වෙලා තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අවුරුදු 3කට පසුව එන මැතිවරණය. ඔවුන්ගේ ගුණ අගුණ මැන බලන මැතිවරණයක්. මෛත්‍රි-රනිල් මැතිවරණ සටන ගල උඩ සටනක්. come or go chicago වගේ. ජ.වි.පෙ. කටයුතු කරන්නේ 2020 පුළුල් ජනතා බලවේගයක් ගොඩනඟන්න.

ආණ්ඩුව බලයට පත්වූ මුල් දින කිහිපයේ කිව්වා ජ.වි.පෙ. ටිකක් ඉවසල බලන්න කියලා. පස්සෙ කිව්වා තිබුණට වඩා යම් තරමක ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා වී තිබෙනවා කියලා. දැන් දිගට හරහට විවේචන එල්ල කරනවා. එතැන නේද ජ.වි.පෙ.ට වැරදුණේ?

කොහොමත් මේ පක්ෂ වෙන වෙන තනි පක්ෂ නෙමේ. එකම කඳවුරක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත්, හොරකම ගැනවත්, නාස්තිය ගැනවත් දේශපාලන සංස්කෘතියේදී කිසිම වෙනසක් නැහැ. නමුත් ඒ මොහොතේ තමන්ගේ බල අරමුණු සඳහා එක් එක් තලවලට එළැඹෙනවා. උදාහරණ ලෙස රාජපක්ෂ පාර්ශවය තමන්ගේ බල වුවමනාව පිණිසම මර්දනයේ යෙදෙනවා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ බල ව්‍යාපෘතියේ කොටසක් වෙනුවෙන් 19 වැනි සංශෝධනය ගෙන එනවා. ඒ නිසා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ ජනතාවගේ නිදහස තහවුරු කිරීමේ අරමුණක් නැහැ.

ජ.වි.පෙ. ප්‍රථම වතාවට මන්ත්‍රි ආසන 39ක් ගත්තෙ 2004දි. ඒ සන්ධානයට සහාය දී. එවැනි හේත්තුවක් නැතිව ජ.වි.පෙ.ට කවදාවත් ගොඩ ඒමක් නැහැ කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?

විශේෂයෙන් රටේ ජනතාව මුහුණදී තිබෙන සුවිශේෂී ගැටලු ඉලක්ක කරගෙන අපි යම් යම් දේශපාලන උපක්‍රම ජනාධිපතිවරණවලදී මහ මැතිවරණවලදී සිදු කොට තිබෙනවා. හැබැයි ඒවා කෙටිකාලීන අරමුණු වුවමනා සඳහාම පමණක් නොවේ. අද වෙද්දි රටේ සමාජීය, ආර්ථිකමය වශයෙන් ඉතා පහත් අඩියකට රට වැටී තිබෙනවා. ඒ නිසා විකල්ප දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අප ඊට සක්‍රියව මැදිහත් වී සිටිනවා.

රට අවුලෙන් වියවුලට පත් වෙනවා දැක දැක ජ.වි.පෙ. විවේචන විතරක් ඉදිරිපත් කරනවා. විවේචන පසෙක තියලා ඇයි ජ.වි.පෙ.ට යම් පාර්ශවයක් සමඟ සන්ධානගත වෙන්න බැරි?

ඔබ හෝ කවුරු හෝ කියනවා නම් ආණ්ඩුවක කොටස්කරුවන් විය යුතුයි කියලා, ඒකෙන් අර්ථකථනය කරන්නෙ මෙතැන පුද්ගලයන්ගෙ ප්‍රශ්නයක්. මේක පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ළඟ හෝ මහින්ද රාජපක්ෂ ළඟ හෝ නරක පුද්ගලයන් සිටිනවා. හොඳ පුද්ගලයන් කරලා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරැදියි. මෙතැන තියෙන්නෙ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ශ්‍රී.ල.නි.ප.යට හෝ එ.ජා.ප.යට එකතු වෙන්න පුළුවන් එකම ප්‍රතිපත්තියක් තියෙන නිසා. නමුත් ජනතා විමුක්ති පෙරමුණට ඔවුන්ගේ ප්‍රතිපත්ති හා ගමන් කරන්න බැහැ. ඒක හරියට තෙල් සහ වතුර වගේ මිශ්‍ර නොවන එකක්. හැබැයි ඔවුන් කසිප්පු සහ වතුර වගේ ඕනෑ විදියට මිශ්‍ර වෙන්න පුළුවන්. කළ යුතු වන්නේ විකල්ප දේශපාලනය ශක්තිමත් කිරීම.

මේ මැතිවරණයේදී ඔබ කියූ කඳවුරු තුනටම ඉදිරිපත් කළ හැකි සටන් පාඨ තිබෙනවා. නමුත් ජ.වි.පෙ.ට තියෙන්නේ විවේචන පමණක්ද?

පක්ෂ තුනම හොයපු සටන් පාඨ දැන් අසාර්ථකයි. මහින්ද රාජපක්ෂ නැතිව රට බෙදෙනවා කියනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. රනිල් වික්‍රමසිංහ කියනවා රට හදනවා කියලා. රට විනාශ කරලා ගම හදනවා කියන්න පුළුවන්ද? මෛත්‍රිපාල සිරිසේන කියනවා දූෂණ විරෝධී පෙරමුණක් හදනවා කියලා. එතුමා වටේම ඉන්නෙ දූෂිත රැළක්. ඉතින් දූෂිතයන් පරාජයට පත් කරනවා කීම විහිළුවක්. දේශපාලනයේ හොඳම සටන් පාඨය තිබෙන්නේ ජ.වි.පෙට පමණයි.

මැතිවරණයට තව දින 09යි. මොනවද ඡන්දදායකයාට කියන්න තියෙන්නේ?

මැතිවරණ අපේක්ෂකයා සහ ඡන්දදායකයා අත සම්මුතියක් තිබෙනවා. මෙතෙක් කාලයක් ඡන්ද අපේක්ෂකයා ඡන්දදායකයාගේ ගෞරවය, විශ්වාසය ආරක්ෂා කළේ නැහැ. ඡන්දය දී කෙටි කලක් යන තුරු ඔවුන්ට ඡන්දය දුන්නෙ කාටද කියලා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අපි සහතිකයක් දෙනවා අපට ලබාදෙන ඡන්දයේ ගෞරවය නිසැකවම ආරක්ෂා කරන බව.

මැතිවරණ වේදිකාවේ ප්‍රබලතම මාතෘකාව බැඳුම්කර වංචාව. වංචා, දූෂණ සෘජුවම හෙළිදරව් කරන ප්‍රබලයෙක් වන අනුර දිසානායකට දැනෙන විදියට බැඳුම්කර තීන්දුව කෙසේ වෙයිද?

මා කිසිසේත්ම විශ්වාස කරන්නෙ නැහැ මෙම බැඳුම්කර ගනුදෙනුවේ නිරත වූ දේශපාලන නායකයන්ට දඬුවම් ලැබෙයි කියා.

ඔබ කොහොමද එවැනි පූර්ව විනිශ්චයකට එළැඹෙන්නේ?

1970 සිට මේ ඉතිහාසය තුළ එක ඇමැතිවරයෙක් හෝ වංචාවකට සිරගත වී තිබෙනවද? එයින් කියන්නෙ එක ඇමැතිවරයෙක්වත් හොරකම් නොකළ බවද? නැහැ, හොරකම් කළා. සෑම ආණ්ඩුවක්ම පලවා හරිනකොට දේශපාලන වේදිකාවේ වංචා, දූෂණ ගැන මහා කෑමොර දීමක් කළා. පාලනය ගත් පසු ඒ වංචනිකයන්ට ඉතාම හොඳින් ආරක්ෂාව දෙනවා. අවුරුදු 70කට ඇමැතිවරයෙක් හිරේ නොගිය රටේ විශේෂයෙන් අගමැතිවරයෙක් හිරේ යයි කියලා විශ්වාස කරන්නෙ නැහැ.

ලංකාවේ ශක්තිමත් විපක්ෂයක් තිබුණේ නැහැ කියලා විපක්ෂයේ භූමිකාව ජ.වි.පෙ. ඉල්ලුවා. අද ඔබ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. මෙවැනි ජාතික ප්‍රශ්නයකට මැදිහත් විය හැකි ශක්තියක් විපක්ෂයට නැහැ කියලයි ඔබේ කතාවෙන් ගම්‍ය වෙන්නේ?

ජ.වි.පෙ. පාර්ලිමේන්තු භූමිකාව ඉතා හොඳින් සිදු කරනවා කියලා ස්වාධීන සමීක්ෂණ වාර්තාවලින් හෙළිදරව් වී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් එළියෙ ජනතාවට විරෝධී කවර සිදුවීමක්ද සිදු වෙන්නෙ ඒ සෑම සිදු වීමකට එරෙහිව ජ.වි.පෙ. සටන් කරනවා. සක්‍රිය දේශපාලන ව්‍යාපාරය අදටත් ජ.වි.පෙ.. හැබැයි ඇතැම් සටන්වලදී විනාශකාරී ඒවා පරාද කරන්න පුළුවන්. විනාශකාරී ඒවා පමා කරන්න පුළුවන්. සමහර සටන් තිබෙනවා සටන් පරාද වෙනවා. නමුත් මේ රටේ ඇති වී තිබෙන විනාශයට එරෙහිව සටන් කරන්න ජ.වි.පෙ. කොන්ත්‍රාත්කරුවො නෙමේ. නමුත් අපි අපේ මූලික කාර්යභාරය ඉටු කරනවා.

බැඳුම්කර සම්බන්ධ කඩිනම් විවාදයක් ඔබ ඉල්ලුවා. පසුව ජනාධිපතිවරයාත් එය අභියෝගයට ලක් කළා. නමුත් ඔහුම කියනවා පෙබරවාරි 06 පැය කිහිපයක විවාදයක් තබා ඵලක් නැහැ. එය ඇස්බැන්දුමක් කියලා.

ජනාධිපතිවරයා උදේ නැඟිටිනකොට එකක් කියනවා. නිදාගන්නකොට තව එකක් කියනවා. විකාරරූපී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඔහු අද කෝලමාගේ චරිතය බවට පත්වෙලා. ඔහුට ජනවාරි 08 ජන වරම ලබාදීමේදී අපේක්ෂා කළා යම් දෙයක්. එතුමා එයට දායක විය යුතුව තිබෙනවා. බැඳුම්කර කොමිෂන් වාර්තාවේත් බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන වාර්තාවෙත් පාර්ලිමේන්තු විවාදය හරහා සිදුවිය හැකි වන්නේ ජනතාවට මෙම කරුණු හෙළිදරව් කිරීම. ඒත් ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ ඔහුට ලැබුණු වාර්තාව, පාර්ලිමේන්තු විවාදය දිහා බලාගෙන ඉන්නෙ නැතිව මේ නිර්දේශවලට අනුව කටයුතු කළ යුතුයි. එහෙම නැතිව තමන්ගෙ වගකීම අත්හැරලා විවාදයක් දෙස බලා හිඳීමට අපි එකඟ නැහැ.

නමුත් මේ ප්‍රකාශයේ යම් අර්ථයක් තිබෙනවා නේද?

අපේ ස්ථාවරය මේ වාර්තා දෙකම ඡන්දයට කලින් විවාදයට බඳුන් කළ යුතුයි. මේ වාර්තා දෙකම විවාදයට ලක් කළාම රනිල්, මෛත්‍රි, මහින්ද පාර්ශව තුනම මෙම වාර්තාවල ඉන්නවා. මෛත්‍රිපාල මහත්තයා එක විටෙක වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න කියනවා. තව විටෙක ගෙනැල්ලා වැඩක් නැහැ කියනවා. පෙබරවාරි 10 මැතිවරණයේදී ජනතාවට තීන්දුවක් ගන්න මේ විවාදය හේතුසාධක වෙනවා.

මීට පෙර විවිධ විශේෂ කාරණා හමුවේ කොමිසන් පත් කළා. බණ්ඩාරනායක කොමිසම, විජය කුමාරතුංග කොමිෂම, විශේෂයෙන් ඔබලාට බලපෑමක් වූ බටලන්ද කොමිසම. මේකට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. බැඳුම්කර කොමිසමටත් ඒ සෙතේම වෙයිද?

කිසිදු ආණ්ඩුවක් කවදාවත් ඒ ඝාතන අපරාධවලට හවුල් ඉහළ දේශපාලනඥයන්ට දඬුවම් දී නැහැ. ඒ නිසා මේ කොමිසම් වාර්තාවටත් දඬුවම් දේදැයි සැකයි. නමුත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි ඒ දූෂිතයන්ට දඬුවම් කරවීමට ප්‍රබල තෙරපුමක් පාර්ලිමේන්තුවේදී සිදු කරනවා.

එජාපය කියනවා අවුරුදු 3ට රට හැදුවා වගේ ගම හදන්න දෙන්න කියලා?

රනිල්ගේ අවුරුදු 3 පාලනය තුළ වංචනිකයන් අල්ලන්න ඇවිත් වංචනිකයන් ගොඩනඟපු හොරකම් නතර කරන්න ඇවිත් හොරකම් කරපු, යහපාලනය ගොඩනඟන්න ඇවිත් විකෘති පාලනයක් ගොඩනඟපු අසාර්ථකම නායකයෙක් රනිල් කියන්නේ. එවැනි අසාර්ථක නායකයෙක්ගේ පාලනයට පළාත් පාලන ආයතන බලය දුන්නොත් අත්වන ඉරණම කෙබඳු දැයි ජනතාව තේරුම්ගත යුතුය. ඒ වගේම වංචනිකයන් රැකපු වංචාවල යෙදුණු රනිල් ඇතුළු පාලනයට දඬුවම් ලබාදීමේ අවස්ථාව ජනතාවට උදාවී තිබෙනවා.

ඇයි ජ.වි.පෙ. මහින්ද රාජපක්ෂ කඳවුරට මෙච්චර බය?

අනේ නැහැ. රාජපක්ෂ බය වෙලා ඉන්න බව නම් මා දැක්කා. ඔහුගේ පිටු 3 1/2ක සත්‍යයෙන් තොර අවලාද සහිත ලියවිල්ලෙන්. බලය තියෙද්දි මල්ලි ආරක්ෂක ලේකම් ධුරය දරනකොට, උතුරු සන්නද්ධ කණ්ඩායම් මෙහෙයවන කොට, මාධ්‍යවේදීන් ඝාතනය කරනකොට රාජපක්ෂට බිය නොවුණු අපි, මේ කුරුණෑගල මන්ත්‍රිට බය වෙයිද?

හැබැයි කියමනක් තියෙනවා වැඩිපුර බය වැඩිපුර අභියෝගයක් තියෙන අයටලු. වැඩිපුර බයත්, ජ.වි.පෙත් ඒ බවද ඔප්පු කරන්නේ?

ඒ බය හින්දා තමයි මේ ලියවිලි ඉදිරිපත් කරන්නේ.

ඒ දේම ඔබලාත් කළා?

(සිනාසෙමින්) දේශපාලනික ලෙස විවේචනාත්මක දේට එරෙහි වීමයි අපි සිදු කරන්නෙ.

නමුත් ආණ්ඩුව දූෂිතයි කියලා කියන ජ.වි.පෙ.ට ඇයි නොතේරෙන්නේ දූෂිත ආණ්ඩුවට පළමු ප්‍රහාරය එල්ල කළ යුතුයි කියලා?

ජ.වි.පෙ. අපි නොවේ නම් කවුද ප්‍රහාරය එල්ල කරන්නේ?

රාජපක්ෂ කණ්ඩායමට ඉතා වැඩි ප්‍රතිශතයක චෝදනා එල්ල කරන අතරතුර තමයි බොහෝ විට අතිරේකයක් ලෙස ආණ්ඩුවේ ගුණ අගුණ මතක් කරන්නේ?

අපේ ප්‍රබලම විරෝධය වත්මන් දූෂිත ආණ්ඩුවට. වර්තමාන පාලනයේ අපරාධ, දූෂණ වංචාවලට එරෙහි සටන කිසිසේත්ම පැරැණි වංචාවලට හවුල් දූෂිතයන්ට පාලන බලය ගැනීමට ඉඩ දිය යුතු නැහැ. වත්මන් පාලකයන්ගෙ අකටයුතුකම්වලට එරෙහි වීම වගේම විවේචනයේ අතුරු ඵලය ලෙස පැරැණි දූෂිතයන්ට බලය ගන්න දෙන්නෙ නැහැ. දෙපාර්ශ්වයටම එකට තබා පහර ගැසීම සිදු කරනවා.

අරලියගහ මන්දිරය වටේ සැරිසරන නායකයෙක් අද ජ.වි.පෙ.න් බිහිවෙලා ඉන්නෙ කියලා චෝදනාවක් තියෙනවා?

කොහෙද තිබුණෙ? ඔය කියන මහත්තයකුට ඇවිත් කෙළින් කියන්න පුළුවන් නම් හොඳයි. අපි දන්නවා විවිධ මාධ්‍යවේදීන්ට, ආයතනවලට විවිධ අරමුණු තිබෙන බව දන්නවා. අපි කිසිසේත්ම මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීන් පාරිශුද්ධත්වයෙන් සලකන්නෙ නැහැ. ඔවුන්ටත් අතිශය විනාශකාරී දේශපාලනයක වුවමනාවන් තිබෙනවා. ඒ වෙනුවෙන් නිර්මාණය කරන පුවත් අවලාදවලට අපි අපේ පිළිතුරු ලබාදී තිබෙනවා. එක් ජතික යැයි කියාගන්නා පුවත්පතක් එවැනි අවලාදයක් ගසා ජ.වි.පෙ. ඉදිරියේ දණගහන්න පවා සිදුවුණා. මේ අවලාදවලින් පෙන්නුම් කරන්නෙ සතුරන් මොන තරම් දුබලතාවට පත්වෙලාද කියලා.

ජ.වි.පෙ. ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කරන බව නිවැරැදියි. නමුත් අදෘෂ්‍යමාන බලවේගයක් සේ ජ.වි.පෙ. ආණ්ඩුවෙ කොටස්කරුවන් වී සිටිනවා කියන චෝදනාවට පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි?

2015 ජනවාරි 8 මෛත්‍රිපාල මහතා ජනපති වූ වහාම පාර්ලිමේන්තුව රැස් වී රනිල් අගමැති ධුරයට පත් වුණා. එවකට රනිල් ගාව පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 42යි. මහින්ද ගාව 142යි. 142ක් මහින්ද ළඟ තිබෙද්දි රනිල්ට අගමැතිකම දුන්නෙ ඇයි? ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ 142ක් ජ.වි.පෙ.ට තිබුණා නම් අපි අගමැතිකම දෙන්නෙ නැහැ. එහෙම දුන්න එකම වැරැද්දක්.

ඔබ කියන්නේ මෙතැන ඩීල් එකක් තියෙනවා කියලද?

රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දීලා පූස් පැටව් වගේ විපක්ෂයේ වාඩි වුණා. අගමැතිකම දී ඔවුන්ට බේරෙන්න අවස්ථාව හදා ගත්තා. ඒ වගේම ජනාධිපතිවරණයේදී පක්ෂය අතහැර ශ්‍රී.ල.නි.ප.යෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට එරෙහිව සටන් කරලා ජයග්‍රහණය කරපු මෛත්‍රිපාල මහත්තයට සති දෙකෙන් මහින්ද ගිහිල්ලා පක්ෂය භාර දෙනවා. ඇයි ඒ? ඒ මෛත්‍රිගෙන් බේරෙන්න. මේ අය තමයි පූස් පැටව් වගේ හීලෑ වෙලා ඉන්නේ. ඒ වගේම විවිධ අය විවිධ චෝදනාවලින් ගැලවෙන්න අගමැති එක්ක සබඳතා පවත්වාගෙන යනවා. ඒවා කොච්චරද කියනවා නම් මහින්ද පාර්ශවය වටා සිටින අය පවා වික්ෂිප්ත වන තරමට නොහිතන පුද්ගලයන් එවැනි සම්බන්ධතා පවත්වනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ කඳවුර වෙනුවෙන් පෙනී සිටින ප්‍රබලම කෙනා අගමැති එක්ක විටින් විට මුණගැහී තිබෙනවා කියලා තහවුරු කළ හැකි සාක්ෂි තිබෙනවා.

ජනාධිපතිවරයා සන්ධාන මන්ත්‍රිවරු 96ට සෘජු ආරාධනාවක් කළා කැමැති නම් එක්වෙන්න කියලා?

ජනවාරි 08දා පරාජය කරපු පිරිස එක්කම ආණ්ඩුවක් හදනවා කියලා මෛත්‍රිපාල මහත්තයා කියනවා නම් ඔහු මුළුමනින්ම දුන් පොරොන්දුවලට පිටුපෑමක් පමණයි පෙන්නුම් කරන්නේ. ඒ 96 එක්ක ආණ්ඩු හදනවද රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩු හදනවද කියන එක අපිට වැඩක් නැහැ. මේ එකම කඳවුරක පාර්ශ්ව 03ක්.

එකතු වුණොත් ජ.වි.පෙ. කරපු සටන් ඔක්කොම ගඟට ඉනි කැපුවා වගේ නේද?

නැහැ. ජ.වි.පෙ. එක් පුද්ගලයෙක් වෙනුවෙන් දේශපාලනය කරලා නැහැ. විකල්ප දේශපාලන ව්‍යාපාරයක්. එකතු වෙනවා නම් තවත් හොඳයි. මොකද මේ දේශපාලන නායකයො මොන වගේ මජර නායකයොද කියලා තහවුරු වෙනවා. තවත් යම් තරමක විශ්වාසයක් ගෞරවයක් ජනතාවට මොවුන් කෙරේ තියෙනවා නම් ඒ ඔක්කොම දියවෙලා යනවා එදාට.

පෙබරවාරි 10න් පසු ජවිපෙ අවීචිමහ නරකාදියට යන බවක් ඔබේ පක්‍ෂයේ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංස කියනවා.?

මෙලොවදීම අවීචි මහ නරකාදියේ පැහි පැහී ඉන්න කෙනෙක්. එලොව ගැන කතා කිරීම ඵලක් නැහැ.

යුරෝ, ඩොලර්, යෙන් අතට ලැබෙද්දි ජ.වි.පෙ.ට කැට හොල්ලන ව්‍යාපාරයත් අමතක වෙලා ගිහින් වගේ?

අදත් අපිට අපේ සාමාජිකයන් ආධාර එකතු කරනවා. විදෙස්ගත විශාලම සංවිධාන ජාලය තියෙන්නෙ ජ.වි.පෙ.ට. ඒ වගේම ජ.වි.පෙ. දේශපාලන ව්‍යාපාරය ගැන විශ්වාසය තියෙන, අපිව අගයන ලංකාවේ බොහෝ අය අපිට මූල්‍යම ආධාර කරනවා. අපි ජනතාවගෙන් යැපෙන ව්‍යාපාරයක්.

පෙබරවාරි 04 දින මව්බිම පුවත්පතෙන්