Gossips

ගැබ්බර එළදෙනක් ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

වෙසක් පුන් පොහොය දිනයේ අලෙවි කිරීමේ අරමුණින් ගැබ්බර එළදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සවස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල මැදගම කැලෑබද ප්‍රදේශයකදීයි.
කැලෑවට රැගෙන ගොස් එළදෙන ඝාතනය කළ අවස්ථාවේ සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වුනා.
ලැබුනු තොරතුරකට අනුවයි පොලිසිය වැටලීම සිදුකර ඇත්තේ.
මැදගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු ගවයන් ඝාතනය කර මස් අලෙවි කරන අයෙක් බවට අනාවරණ වී තිබෙනවා.
ඊයේ ඝාතනයට ලක්වූ එළදෙන පැටවෙකු ලැබීමට සිට ඇති බව හෙළිවී ඇති අතර සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වෙසක් සතියේදී මස් පිණිස ඝාතනය කිරීමට ප්‍රවාහනය කළ කිරි එළදෙනක් සහ ගවයෙක් සැකකරුවන් දෙදෙනෙකු සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාඩ්මෝර් ප්‍රදේශයේ සිට මස්කෙළිය දක්වා රැගෙන එමින් සිටියදී පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.
එම පුද්ගලයන් හැටන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර හිංසාකාරී ලෙසට ත්‍රී රෝද රථයකින් එළුවන් දෙදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවෙකු නෝර්වුඩ් මංසන්ධියේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
බලපත්‍රයක් ද නොමැතිව ත්‍රී රෝද රථයේ පිටුපස හිංසාකාරීව එළුවන් රැගෙන යමින් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



ඡායාරූප – වැල්ලවාය ජයන්ත වීරසේකර / මස්කෙළිය ගාමිණී බණ්ඩාර / හැටන් රංජිත් රාජපක්ෂ