Gossips

එජාපය ජනපති අපේක්ෂකයා හෙළිකරයි

මීළග ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් බැහැ දැකීමට අද (28) මහනුවරට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියා සිටියා.
එමෙන්ම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන්නේ පුද්ගලයන් පිරිසකට අවශ්‍ය පරිදි නොව ජනතා ඡන්දයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයින්ගෙන් සහ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් බවයි ඔහු පෙන්වා දුන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තරග කිරීමට වෙනත් කිසිවෙකු තුළ අදහසක් නොතිබූ බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා නායකත්වය සඳහා ඉදිරිපත් වීමට කාගේ හෝ අදහසක් තිබේද යන්න විමසා සිටි බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.