Gossips

දෙමළ සන්ධානය ජනතාවට එරෙහි වී ඇතැයි විග්නේෂ්වරන්ගෙන් චෝදනා

නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්නේ නම් එය දෙමළ ජනතා සභාවේ ප්‍රතිපත්ති මූලික කරගනිමින් සිදුකරන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාවගේ බලාපොරොත්තුවලට එරෙහිවූ ප්‍රතිපත්තියක කටයුතු කරන බවයි.
‘‘උතුර පළාත් සභාවේ කාලය අවසන්වීමට ආසන්නවත්ම, මට යළි ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය ලබානොදෙන බව සුමන්දිරන් මන්ත්‍රීවරයා කියලා තිබ්බා. නමුත් අපි ක්‍රියාත්මක කරපු වැඩපිලිවෙල තවමත් අවසන් කරලා නෑ. ඒවා අවසන් කිරීමේ අවශ්‍යතාවය මට තියෙනවා. ඒ නිසා මට පක්ෂයෙන් මහ ඇමති අපේක්ෂකත්වය ලබාදුන්නේ නැත්නම්, වෙනත් ආකාරයට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න වෙනවා කියලා මම මාධ්‍යවලට කියලා තිබ්බා. මම කියපු එක මාධ්‍යවල පලවුණේ අලූත් පක්ෂයක් හදනවා කියලයි. අලූත් පක්ෂයක් හදන්න මම කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. වෙනත් පක්ෂවලට එකතුවෙලා කටයුතු කරන්න මම කැමති නෑ. හැබැයි එහෙම අලූත් පක්ෂයක් හදන්න මට පීඩනයක් තියෙනවද කියලත් මම දන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මම සාකච්ඡා කරමින් පවතිනවා. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම්, ධර්මලිංගම් සිද්ධාර්ධන් වැනි අය දෙමළ ජනතා සභාවට ඔවුන්ගේ සහයෝගය ලබාදීලා තියෙනවා. අපි අතර ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයක් තියෙනවා. නමුත් දේශපාලන පක්ෂයක් සෑදිම සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. එහෙම පක්ෂයක් හදනවා නම් දෙමළ ජනතා සභාවේ ප්‍රතිපත්තිත් පදනම් කරගෙන ඒ පක්ෂය හදනවා. මොකද දෙමළ ජනතා සභාවේ ඉන්න මම ඇතුළු සියලූ දෙනාගේම සහයෝගයෙන් තමයි ඒ ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. ඒ වගේම දෙමළ ජනතාවගේ මතයත් සමඟ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාමාර්ග සහ ඔවුන් දකුණේ ගෙන යන වැඩපිලිවෙල ගැලපෙන්නේ නෑ. දෙමළ ජනතාවගේ බලාපොරොත්තුවලට විරුද්ධ වුණු ප්‍රතිපත්තියක තමයි දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන්නේ. ’’