Gossips

ගෑස් මිල වැඩිවීම නිසා කෑම පාර්සල්වල මිලත් ඉහළට

ගෑස් මිල ඉහළ යාම හමුවේ ආහාර පාර්සල්වල මිල ද ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියාසිට්යේ ආහාර පාර්සලයක මිල රුපියල් 10 කින් ඉහළ දමන ලෙසට සරසවි සහ රෝහල් ආපන ශාලා ඇතුලු රාජ්‍ය ආයතනවල ආපන ශාලා හිමියන්ට දැනුම්දී ඇති බවයි.
වසර ගණනාවක සිට රජයේ ආයතනවල ආපන ශාලාවල සහන මිලට ආහාර ලබාදුන්න ද මෙතෙක් මිල ඉහළ දැමිමක් සිදුවී නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර ගෑස් මිල රුපියල් 245 කින් ඉහළ යාම හේතුවෙන් තමන්ට සිදුවන පාඩුව පියවා ගත හැකි ආකාරයෙන් ආහාරවල මිල වැඩි කරන ලෙසට පෞද්ගලික ආපන ශාලා සහ හෝටල්වලට දැනුම්දුන් බවයි අසේල සම්පත් කියාසිටියේ.
කෙසේවෙතත් රජය තමන්ට අතරමැදියන්ගෙන් තොරව එළවළු ලබාදීමට කටයුතු කරන්නේ නම් රුපියල් 20 කින් ආහාර පාර්සලයක මිල අඩු කිරීමට හැකියාව පවතින බවයි.
ආහාරවල මිල පාලනයට මිල සූත්‍රයක් නොමැතිවීම හමුවේ භාණ්ඩ මිල ඉහළ යාමට සාපේක්ෂව ආහාර පාර්සල්වල මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ වෘත්තීය සමිතිවලට බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා සඳහන් කළේ.
කෙසේවෙතත් ගෑස් මිල වැඩි වීම හේතුවෙන් ප්ලේන්ටි සහ කිරි තේවල මිලෙහි වෙනසක් සිදු නොවන බව ඔහු කියාසිටියා.