Gossips

වියානි ඇලට පෙරළුණු ජීප් රථයේ හිමිකරු තවමත් අතුරුදන්

මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදී වියානි ඇළට පෙරලුණු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ, අතුරුදන් වූ පුද්ගලයාගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔලුවිල් නාවික හමුදා කදවුරේ නිළධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව ඔහු සොයා මෙහෙයුම් දියත් කළා.
එහෙත් මේ වන තුරුත් එම පුද්ගලයා පිළිබද කිසිදු හෝඩුවාවක් වාර්තා වී නොමැති බවයි පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එම පුද්ගලයා සෙවීමේ කටයුතු සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 4ක් ද යොදවා තිබෙනවා.
මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් කටයුතු හේතුවෙන් ඊයේ වියානි ඇලට ජල සැපයීම ද තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අදාළ සුඛෝපභෝගී ජීප් රථය පෙරේදා අලුයම වියානි ඇළට පෙරළී තිබූ අතර, අනතුරුව එය ගොඩට ගනු ලැබුවා.
පසුව හෙළිවුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් විතානගේ නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් එය පදවා ඇති බවයි.
මේ අතර, පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගෙන වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදෙනු ලැබුවා.




ඡායාරූප – මහියංගණය රංජිත් කරුණාවීර