Gossips

වෛද්‍යවරයෙකු නොමැතිව දෙහිඅත්තකණ්ඩියේ රෝගීන් දහස් ගණනක් අනතුරේ

අම්පාර – දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැතිවීම නිසා වකුගඩු රෝගීන් දසදහසකගේ පමණ ජීවිත අවදානම් තත්ත්වයක පවතින බවට වාර්තා වනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අම්පාර දිස්ත්‍රික් කැඳවුම්කරු වෛද්‍ය චනිත් පේදුරුආරච්චි කියා සිටියේ එම ප්‍රදේශයේ වකුගඩු රෝගය බහුලව පැවතියද කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැතිවීමෙන් රෝගී ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.
හිරු ප්‍රවෘත්ති අංශය මෙම ගැටලුව සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී මහේෂ් දහනායකගෙන් විමසීමක් කළා.
ඔහු ද කියා සිටියේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැතිවීමෙන් රෝගීන් දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, කඩිනමින් විශේෂඥ වෛද්‍යවරයෙකු ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති බවද වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළා.