Gossips

පාර්ලිමේන්තුව රැස් කරන්න තවත් ගැසට් නිවේදනයක් එන ලකුණු

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන වේලාව සඳහන් කරමින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ ද දෝෂ පවතින බව නීතිවේදීන් පෙන්වා දෙනවා.
පසුගිය 23 වනදා ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කළේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අප්‍රේල් මස 12 වනදා නිකුත් කළ ගැසට් පත්‍රයේ නව සැසිවාරය ආරම්භ කරන වේලාව සඳහන් වී නොතිබීම හේතුවෙන්.
70 වන ව්‍යවස්ථාවේ 04 වැනි අනු ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ලබන මැයි මස 08 වනදින පස්වරු 2 යි 15ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස එමගින් දක්වා තිබුණා.
කෙසේ වෙතත් මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ ඊට අදාල නොවන අනු ව්‍යවස්ථාවක් ඇතුලත් කරමින් බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සහ නව සැසිවාරය කැදවීම සිදු කළ යුත්තේ 70 වන ව්‍යවස්ථාවේ පළමුවැනි අනු ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුවයි.
එහෙත් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ වාර අවසාන කරනවිට කටයුතු නිම කර නොමැති කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ මීලඟ සභා වාරයේදී ඉදිරි පියවර පාර්ලිමේන්තුවට බලය පවරා ඇති 70 වන ව්‍යවස්ථාවේ 04 වැනි අනු ව්‍යවස්ථාව යටතේයි.
එම නිසා මෙය සංශෝධනය කර යලි ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවයි නීතිඥ ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් කළේ.
අප මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණයාලාධිපති ගංගානි ලියනගේ ගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙය තම ආයතනයේ දෝෂයක් නොවන බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවන ලද ගැසට් නිවේදන පත්‍රිකාව එලෙසම මුද්‍රණය කිරීමට කටයුතු කළ බව ඇය සඳහන් කළා.
කෙසේ වෙතත් වේලාව සඳහන් කර දෙවන වරට නිකුත් කළ ගැසට් නිවේදනය කිසියම් පාර්ශවයකට අභියෝගයට ලක් කළ හැකි බැවින් මෙම දෝෂය නිවැරදි කිරීම සඳහා යළි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු ද කියා සිටියේ.