ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශණ කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුල ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.
සමාගමේ දැනට පවතින තත්වය සහ මතුව ඇති ගැටලු විසඳා ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ඔවුන් දීර්ඝ වශයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සමාගමේ සේවාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය වර්ධනය කරමින් මගීන්ට ප්රබෝධයකින් යුතුව සිය ගමනාන්තය කරා ළගාවීමට හැකි පහසුකම් පුලුල් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පැහැදිළි කළ බවයි.
එමෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුලු පාර්ශවවල තොරතුරු ලබාගනිමින් සහ සියලුදෙනාගේ යෝජනා සැලකිල්ලට ගනිමින් රජයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසම කඩිනමින් කටයුතු කරනු ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී කියාසිටියා.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් හා ත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.
එහිදී බර ඉසිලිමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ඉන්දික දිසානායකට රුපියල් ලක්ෂ 40 ක් පිරිනැමුණු අතර, ලෝකඩ පදක්කම්ලාභි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 30 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
මේ අතර 2018 – 2037 කාල පරාසය සඳහා සැළසුම් කර ඇති දිගුකාලින විදුලිජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහජන උපයෝගීතා කොමිසමට අද උපදෙස් ලබාදුන්නේ එහි නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදියි.