පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 2015 වසරේ සිට පසුගිය 22 වැනිදා දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකල වැටලීම්වල තොරතුරු ඇතුලත් වාර්තාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද (25) මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
පසුගිය වසර තුනක කාලය තුල හෙරොයින් සම්බන්ධ වැටලීම් 660ක් සිදුකර ඇති අතර එහෙදි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 711ක්.
ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 7 යි ග්‍රෑම් 414 ක් බවයි පොලිසිය සදහන් කළේ.
එහි වටිනාකම රුපියල් මිලියන 75ක්.
මේ අතර, කේරළ ගංජා වැටලීම් 453 ක් සිදුකර සැකකරුවන් 507 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වී තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 1877 ක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 234 ක්.
එමෙන්ම ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 367ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
ඔවුන් සන්තකයේ තිබි සොයාගෙන ඇති ගංජාවල මුළු වටිනාකම රුපියල් මිලියන 2 ක් වන අතර එහි සමස්ත ප්‍රමාණය කිලෝ 619 ක්.
එමෙන්ම ගංජා හේන් අක්කර 364 ක් විනාශ කිරීමට විශේෂ කාර්ය බලකායට හැකිවී තිබෙනවා.
එහිදී සැකකරුවන් 299 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටලීම් 599 ක් සිදුකරමින්.
මේ අතර, රුපියල් මිලියන 30කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි වැටලීම් 130ක් සිදුකර එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකරුවන් ගණන 142ක්.
නීති විරෝධී මධ්‍යසාර වැටලීම් 1489 ක් සිදුකර ඇති විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එහිදී සැකකරුවන් 1625 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධී මධ්‍යසාර ප්‍රමාණය ලීටර් 175,218 ක්.
එම මධ්‍යසාර ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 23ක් බවයි පොලිසිය කියා සිටියේ.
මේ අතර 2015 වසරේ සිට පසුගිය 22 වනදා දක්වා විදේශීය මධ්‍යසාර ලිටර් 16811ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටලීම් 30 ක් සිදුකරමින්.
පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම විදේශිය මධ්‍යසාරවල වටිනාකම රුපියල් මිලියන 90 ක්.
අදාළ කාලසීමාව තුල විවිධ මත්පෙති සම්බන්ධ වැටලීම් 38 කින් සැකකරුවන් 40 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර මත්පෙති 93747 ක් වනවා.
ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 6 ක් වන බවයි පොලිසිය සඳහන් කළේ.