Gossips

මධ්‍යම කාරක සභාවට පෙර 16 කණ්ඩායම ජනපති හමුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රී 7 ට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ කොළඹ – මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.
මෙහිදී ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ 16 දෙනා ද මෙම මධ්‍යම කාරක සභාවට සහභාගි වන අතර ඔවුන් එහිදී තමන් ඇතුලූ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බවට මධ්‍යම කාරක සභාවට දැනුම්දීමට ද නියමිතයි.
අද පස්වරුවේත් ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම කොළඹදී වෙනමම සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
මේ වනවිට ඔවුන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක්ද ආරම්භ වී තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ප්‍රකාශ කළේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ විපක්ෂයේ අසුන් ගැනීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.
මේ අතර අද පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා.
එම සාකච්ඡාවෙන් අනතුරුව නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර එකම වාහනයකින් පිටතට පැමිණි අතර, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස එක් ගමනක් යෑමට බලාපොරොත්තු වන බවයි.
තමා හෝ සන්ධාන මහ ලේකම්වරයා ඉවත්වීමට අදහසක් නොමැති බවද ඔහු කියා සිටියා.