Gossips

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම වසර අවසානයේ පැවැත්වීමේ සුදානමක්

ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකම වසර අවසානයේ පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ අද (24) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ප්‍රමාදයකින් තොරව උසස් පෙළ සඳහා පිවිසීමේ අවස්ථාව ද ඉදිරියේදී හිමි වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
මේ අතර දිවයිනේ සියලු රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ ක්‍රියාවලිය, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධ කරගනිමින් ජාලගත ක්‍රමයකින් (Online System) සිදුකිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මෙම වැඩසටහන අද (24) නිල වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේදී ආරම්භ වුණා.
වාර්ෂිකව ලක්ෂ හයකට අධික සහතික ප්‍රමාණයක් ප්‍රතිඵල සනාථ කිරීම් සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබෙනවා.
ඉන් වැඩි ප්‍රමාණයක් දිවයිනේ කලාප කාර්යාලවලින් ලැබෙන ඉල්ලීම් ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.
මෙම විභාග සහතික සනාථ කිරීමේ ක්‍රියාවලිය විභාග දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර ශාඛාව මඟින් මෙතෙක් සිදුකෙරුණු අතර, සනාථ කිරීම් සිදුකර නැවත අදාළ කාර්යාල වෙත යැවීමේ දී සිදුවන ප්‍රමාද දෝෂ, කල්ගතවීම් වළක්වා ගැනීමට මෙම Online ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.
මේ හරහා කලාප කාර්යාලවලට ප්‍රතිඵල සනාථකිරීමේ බලය විමධ්‍යගත කර ඇති අතර, මෙය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතයි.
මෙය අතිශය රහස්‍ය සේවාවක් වන බැවින් තොරතුරුවල ආරක්ෂාව මෙන්ම භාවිත කරන්නන් මගින් සිදුකළ හැකි වංචා පරීක්ෂා කිරීම ඇතුළු කාර්යයන් විභාග දෙපාර්තමේන්තුව මගින් නියාමනය කළ හැකි විධිවිධාන ද මේ වනවිටත් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළා.