Gossips

බදු පනතේ නියෝගයක් ඉල්ලා අස්කර ගන්න ලේඛකයන් රජයට කියයි

අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ දේශීය ආදායම් පනතට විවිධ පාර්ශ්ව දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.
ඒ අතරට එක්වූ නවතම කණ්ඩායම වූයේ ගත්කතුවරුන්.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත මගින් පනවා ඇති රඳවා ගැනීමේ බද්දට ලේඛකයින්ට හිමිවන කර්තෘ භාගය ද යටත් වන බව ලංකා ලේඛක සංවිධානය පවසනවා.
ලේඛකයෙකුට සිය කෘතියකින් 10% ක කර්තෘ භාගයක් හිමිවන අතර, පනතේ ප්‍රතිපාදන යටතේ ඉන් 14% ක් බදු වශයෙන් රඳවා ගැනීමට නියමිතයි.
මෙරට පොත් ප්‍රකාශන ව්‍යාපාර වර්තමාන තත්ත්වය අනුව සාමාන්‍යයෙන් එක් පොතකින් මුද්‍රණය කෙරෙන පිටපත් ගණන පවතින්නේ 500 ක් 1000 ක් අතර අගයකයි.
එවැනි වාතාවරණයකදී ලේඛකයෙකුට හිමිවන කර්තෘභාගය බද්දකට යටත් කිරීම අසාධාරණ බව ලංකා ලේඛක සංවිධානය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත යොමු කළ ලිපියකින් පෙන්වා දෙනවා.
ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා – සභාපති ලංකා ලේඛක සංවිධානය
– මේක ඇවිල්ලා අමන ක්‍රියාවක් හැටියට තමයි මම දකින්නේ. ජීවත් වෙලා ඉන්න ලේඛකයන්ට විතරක් නෙමෙයි මියගිය ලේඛකයන්ට පවා කරන අපහාසයක් මේක. ලේඛකයන්ට සහ රාජ්‍ය කලාකරුවන්ගෙන් බදු අය කරන කාලයක් මම අහලා තිබුණේ නෑ. මං හිතන්නේ අධිරාජ්‍ය කාලෙවත් තිබිලා නැහැ. සමහර ලේඛකයෝ මියගිහින්. ඒ කර්තෘ භාග ලබනවා. ඒ අයගෙනුත් මේ මුදල කපනවා. ඇත්තවශයෙන්ම මහා හිගන වැඩක් මේක. ඒ නිසා අපි රජයෙන් දැන්මම ඉල්ලා සිටිනවා මේ බදු පනතේ මේ නියෝගය ඉල්ලා අස්කර ගන්න කියලා.
මේ අතර, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අප්‍රේල් 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මැණික් හා ස්වර්ණාභරණ අපනයන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
මීට පෙර සේවා ගාස්තු ලෙස අය කෙරුණේ අපනයන වටිනාකමින් 0.5 % ක්.
නව සංශෝධනයට අනුව මැණික් අපනයනයේදී සෑම කැරට් 100 ක් සදහා රුපියල් 25,000 ක සේවා ගාස්තුවක් අය කරන අතර, එය අගය එකතු කිරීමේ බද්ද හෙවත් වැට් බද්දට ද යටත් වනු ඇති.
මෙමගින් සුළු පරිමාණ අපනයනකරුවන් දැඩි පීඩාවකට පත්වන බව එම වෘත්තිකයන් පෙන්වා දෙනවා.