Gossips

ලන්ඩනයට ජනපති සමඟ ගිය නිල දූත පිරිස ගැන පැහැදිලි කිිරිමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සහභාගිවු නිල දූත පිරිස සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ නිල දූත පිරිසට එක්වූයේ ජනපති ආර්යාව, නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණක් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ වෙබ් අඩවියේ සඳහන් වුණේ.
ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙකු සහභාගිවී නොමැති බවද එහි දැක්වෙනවා.
මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහභාගිවී ඇත්තේ ආර්ථික සමුළුවට බවද පෙන්වා දෙන ජනාධිපති මාධ්‍ය ඒකකය තවදුරටත් සඳහන් කළේ එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශවයකට ජනාධිපති කාර්යාලය වියදමක් දරා නොමැති බවයි.
ඇතැම් මාධ්‍යවල ලන්ඩන් සංචාරය සඳහා 100 කට අධික දූත පිරිසක් සහභාගිවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය තවදුරටත් සඳහන් කළේ.