ලක්ෂ 28ක් වංචා කළ එජාප මන්ත්‍රීට ඇප
රජයේ රැකියා ලබාදෙන බව පවසමින් සහ දේශපාලන කටයුතුවලට හා වාහනයක් මිලදී ගැනීමට බව පවසමින් රුපියල් ලක්ෂ 28කට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් ඌව පළාතේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීයරයෙකු රුපියල් ලක්ෂ 30ක ඇප මත මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා අද (05) නියෝග කර තිබේ.
බදුල්ල, හාලිඇල සහ පස්සර පොලිස්ථානවලින් ඉදිරිපත් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි එම මන්ත්‍රීවරයා පසුගිය දා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටියදීය.
පස්සර පොලිසියේ කොස්තාපල් සමන් මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර ආරුමුගම් ගනේෂමුර්ති මහතා රජයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක් ද තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000/-ක්ද ලබාගෙන වංචා කොට ඇතැයිද එම පැමිණිලිවලට අදාළව සැකකරු අත්අඩංගුවට ගත්තේ යැයිද ප්‍රකාශ කර ඇත.
සැකකාර ගනේෂමුර්ති මහතා රජයේ බැංකුවක ගිණුමට රුපියල් ලක්ෂයක් තැන්පත් කරවාගෙන ඇති බවත් ඉන්පසු අවස්ථාවකදී ඔහුගෙන් රුපියල් 25,000/- බැගින් අවස්ථා දෙකකදී රුපියල් 50,000/- ක් ලබාගෙන ඇති බවත් දැනුම් දුන් කොස්තාපල් සමන් මහතා මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන කටයුතු අවසන් කොට ඇතැයිද ප්‍රකාශකර තිබේ.
බදුල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ සැරයන් පියසේන මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර ආරුමුගම් ගනේෂමුර්ති මහතා දේශපාලන කටයුතුවලට හා වානයක් මිලදී ගැනීමට බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් මුදල් ලබාගෙන වංචා කළ බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයිද ප්‍රකාශ කර ඇත.
දේශපාලන කටයුතුවලට බව පවසමින් සැකකරු එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 9,70,000/-ක මුදලක් ලබාගෙන ඇති බවත් වානයක් මිලදී ගැනීමට බව පවසමින් සැකකරු තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාගෙන ඇති බවත් දැනුම් දුන් සැරයන් පියසේන මහතා ඔහු අදාළ පුද්ගලයින්ට එම මුදල් වංචා කොට ඇතැයිද දැනුම් දී තිබේ.
හාලිඇළ පොලිසියේ සැරයන් (59200) ජයප්‍රකාශ් මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාර ආරුමුගම් ගනේෂමුර්ති මහතා රජයේ රැකියා ලබාදෙන බව පවසා හාලිඇළ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂය බැගින්ද තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් 1,30,000/-ක්ද ලබාගෙන වංචා කොට ඇතැයි ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් මෙම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා ඇම පමත නිදහස් කර තිබේ.