Politics Sri Lanka

දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී 4ක් මරුට

දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී 4ක් මරුට

කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද (05) පස්වරුවේ ලුනාව පාලම අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් 06 දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇදී යාමත් සමඟ පාපුවරුවේ එල්ලී සිටි සෙසු පිරිසද ලොරියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තරුණයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර එක් අයකු රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් ඇත.

තිදෙනකුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේද අනෙක් තැනැත්තාගේ මළ සිරුර ලුනාව රෝහලේද තැන්පත් කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රියට පිටුපසින් ඇති මැදිරියේ වන අතර එම අවස්ථාවේ මගීන් විශාල පිරිසක් එහි පාපුවරුවේ ගමන් ගනිමින් සිට ඇත.

දුම්රිය ලුනාව පාලම ආසන්නයට ළඟා වෙමින් තිබිය දී පාලම ආසන්නයේ ලොරියක් නවත්වා තිබී ඇති අතර එම ස්ථානයේ මාර්ගය සහ දුම්රිය මාර්ගය ඉතා පටු වීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමන් ගත් පිරිස එකවරම ලොරියේ ගැටුණු බවට සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

සිද්ධියෙන් පසු තුවාලකරුවන් තරුණයන් ගැටුණු ලොරියෙන්ම කළුබෝවිල රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය පිරිස මෙතෙක් හඳුනාගෙන නොමැත.

මෙම ස්ථානයේ මාර්ගය පටුවීම නිසා අනතුරු රැසක්ම සිදු වුවද බලධාරීන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති.