Gossips

අවදානමක් ගැන රේගුව අනතුරු අඟවයි

ෆේස්බුක් සහ සමාජජාලා මාධ්‍ය ඔස්සේ ලොතරැයි මගින් තමන්ට විවිධ ත්‍යාග හිමි වී ඇති බව පවසමින් රේගුව හරහා එම ත්‍යාග එවීමට මුදල් ලබා ගන්නා කූඨ ජාවාරම්වලට හසු නොවන ලෙසට ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පසුගිය කාලසීමාව තුළ දී විදේශගතව සිටින බව හඟවමින් ජයග්‍රහණවලින් හිමි වූ ත්‍යාග එවීමට විවිධ මුදල් ලබා ගන්නා සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ශ්‍රී ලංකා රේගුව වෙත ලැබී තිබෙනවා.
ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ විවිධ කණ්ඩායම් මෙම ජාවාරම මෙහෙය වන බවයි.
මෙම පුද්ගලයින් ෆේස්බුක් මගින් ලොතරැයි ත්‍යාග ලැබී ඇති බව පවසා පසුව මෙරට දුරකථන අංකයකින් එම ත්‍යාගය නිදහස් කර ගැනීමට රේගු බදු වශයෙන් ගෙවීමට අවශ්‍ය මුදල බැංකු ගිණුමකට යොමු කරන ලෙසට ඉල්ලීම් කරනු ලබනවා.
මෙම නීතිවිරෝධී කටයුතු පිළිබදව තොරතුරු ලබාදීමට 0112 47 14 71 යන දුරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා රේගුවේ බුද්ධි විමර්ශන අංශයට දැනුම් දිය හැකි බවයි රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.