Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට පිටු 7000ක්

හෙට දිනයේ (06) මෙන්ම පෙබරවාරි 21 සහ 22 යන දිනයන් හිදී ද බැඳුම්කර සහ බරපතල වංචා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට අද (05) පක්ෂ නායකයන් එකඟත්වයකට පැමිණියා.
එම රැස්වීමේදී කථානායකවරයා ප්‍රකාශ කර ඇත්තේ බරපතල වංචා සහ දූෂණ පිළිබද වාර්තා 34කට අදාළ පිටු 7000ක ලිපි ගොනු සංයුක්ත තැටි මඟින් මන්ත්‍රීවරුන්ට හෙට ලබාදෙන බවයි.
වාර්තා දෙකට අදාළව මෙතෙක් පාර්ලිමේන්තුවට යොමු නොකළ ලේඛනයක් පවතී නම්, ඒ පිළිබදව කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇතැයි ද කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට විවාදයේ වේලාව සාධාරණව වෙන් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්කෙරුණු බවයි.
අද (05) පැවැති පක්ෂ නායක හමුවට දෙමළ ජාතික සන්ධානය සහභාගි වී නොමැති අතර, ඔවුන් කථානායකවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ මැතිවරණ කටයුතු හේතුවෙන් ඊට සහභාගිවීමට නොහැකි බවයි.
එමෙන්ම හෙට පැවැත්වෙන විවාදයට සහභාගි නොවන බව ද දෙමළ ජාතික සන්ධානය දැනුම් දී තිබුණා.