Gossips

මහියංගනයේ – මාපාකඩවැවදී මවක සහ දියණියක ඝාතනය කෙරේ

ගත වූ දින දෙක තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් ඝාතන සිද්ධින් වාර්තා වුණා.
ඊට ආසන්තම සිද්ධිය වාර්තා වූයේ මහියංගනය ප්‍රදේශයෙන්.
මාපාකඩවැව – ඉකිරියගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණිය මෙලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඝාතනයට ලක් වූ මවගේ පුත්‍රයා විසින් ඊයේ (20) රාත්‍රියේ මහියංගනය පොලීසියට පැමිණිලි කර ඇත්තේ තම මව සහ නැගණිය කිසියම් පිරිසක් විසින් නිවස තුළ ඝාතනය කර ඇති බවටයි.
ඒ අනුව, එම ස්ථානයට ගිය පොලීසිය මළ සිරුරු සොයා ගෙන ඇති අතර මෙම ඝාතන 19 වනදින සිදුවී ඇති බවට පොලීසිය සැක කරනවා.
අප වාර්තාකරු කියා සිටියේ නිවසේ නිදියහනේ මව ඝාතනය කර ඇති අතර, දියණිය ඒ ආසන්නයේම බිම වැටී සිටි බවයි.
මියගිය මව එම ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති අතර ඔහු විසින් මෙම ඝාතනය පිළිබඳව පොලීසියට පැමිණිලි කළ පුත්‍රයාට දැනුම්දී ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මහියංගනය පොලීසිය කියා සිටියේ.

මේ අතර, තෙල්දෙණිය – කුඹුක්කඳුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
ඊයේ (20) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයේ පලාගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.
එමෙනෙම , කුරුණෑගල – යන්තම්පලාව ප්‍රදේශයේදී ද ඊයේ(20) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.