Gossips

හොරණ කර්මාන්තශාලා අනතුරෙන්, මිය ගිය අයගේ ඥාතීන් 50,000සේ වන්දිය ප්‍රතික්ෂේප කරයි

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් මිය ගිය අයගේ පවුල්වලට කර්මාන්තශාලාවේ නිලධාරිනියක විසින් ලබාදීමට ගිය වන්දි මුදල් ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මිය ගිය පුද්ගලයෙකුගේ ඥාතියෙකු සඳහන් කළේ පානදුර රෝහලට පැමිණි කර්මාන්තශාලාවේ නිලධාරිනියක රුපියල් 50,000ක වන්දි මුදලක් ලබාදීමට කටයුතු කළ බවයි.
එහෙත් තමන් ඇතුළු පිරිස එම මුදල ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කළා.
මේ අතර, අදාළ කර්මාන්තශාලාවේ පාලන අධිකාරියට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර ප්‍රකාශ කළා.
සිද්ධියට අදාළව මූලික විමර්ශන වාර්තා තමන් වෙත ලැබී ඇති බවත්, ඔහු කියා සිටියා.
එමෙන්ම එහි පාලන අධිකාරියට කර්මාන්තශාලාව තුළ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස අවස්ථා කිහිපයකදී උපදෙස් ලබාදුන්නත්, ඒවා පිළිපැද නොමැති බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
පෙරේදා දිනයේ අදාළ රබර් සැකසුම් කර්මාන්තශාලාවේදී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එමෙන්ම, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම කර්මාන්තශාලාවේ කළමනාකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඔහු පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන පැහැර හැරීම හා අපරීක්ෂාකාරී ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේයි.
කෙසේ වෙතත්, අදාළ කර්මාන්ත ශාලාව නිසි පරිදි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර තිබුණේ නම් මෙවැනි අනතුරක් වළක්වා ගත හැකිව තිබූ බවයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර කියා සිටියේ.
මේ අතර, පෙරේදා දහවල් සිදුවූ මෙම අනතුරෙන් ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
එසේම ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හොරණ පොලිසියට පැමිණෙන ලෙස අදාළ රබර් සැකසුම් කර්මාන්ත ශාලාවේ හිමිකරුට දැනුම්දීමක්ද සිදුකර ඇති නමුත් ඔහු ඊයේ පස්වරුව වනවිටත් එහි පැමිණියේ නැහැ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන නිමා වනතුරු එම කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරිය කියා සිටියේ.
එමෙන්ම, හොරණ – බැල්ලපිටියේ පිහිටි අදාළ කර්මාන්ත ශාලාවේ ඊයේ නිරීක්ෂණ චාරිකාවට එක්වු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ද සඳහන් කළේ එය තහනම් කිරීමට කටයුතු කරන බවයි.