Gossips

මිරිස්සේ අනවසර ඉදිකිරීම් මැයි පළවන දා සිට ඉවතට

මිරිස්ස වෙරළ තීරයේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් මැයි පළමු වන දා සිට ඉවත් කිරීමට කටයුතු කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව කියා සිටියේ මිරිස්ස ප්‍රදේශයේ විදෙස් සංචාරකයින් පිරිසකට පසුගිය දා සිදුවූ හිරිහැර පිළිබදව සාකච්ඡා කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, සිද්ධිය පිළිබදව විශේෂ සාකච්ඡාවක් දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණේ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේදීයි.
මිරිස්ස සහ මිදිගම ප්‍රදේශවලදී විදේශීය සංචාරකයන්ට සිදුවූ අදාළ අපහසුතා පිළිබදව සහ ඊට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ඊයේ සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාව සඳහා නීතිය හා සාමය විෂය භාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග ද එක්ව සිටියා.
එම සාකච්ඡාව සඳහා එක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට ලැබී ඇති සාක්ෂි පදනම් කරගෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹිය හැකි බවයි.