Gossips

උතුරු කොරියාව මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතයි

උතුරු කොරියානු මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව එරට නායක කිම් ජෝන් අන් නිවේදනය කළා.
උතුරු කොරියානු ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ඒ අනුව, න්‍යෂ්ටික අත්හදා බැලීමේ පරීක්ෂණ බිම් වසා දැමීමටත්, අන්තර් මහාද්වීපික මිසයිල වැඩසටහන අත්හිටුවීමටත්, කටයුතු කරන බවයි.
කොරියානු අර්ධද්වීපයේ ආර්ථික වර්ධනය සහ සාමය උදෙසා එම පියවර ගනු ලබන බව උතුරු කොරියානු නායකයා සඳහන් කළා.
ඔහු ලබන සතියේදී දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් හමුවන අතර ලබන ජුනි මාසයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණ ගැසීමට නියමිතයි.
එය බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙකු සහ කොරියානු නායකයෙකු අතර සිදුවන ප්‍රථම හමුව වනු ඇති.
උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නතර කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කඩිනමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
සුපුරුදු පරිදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එය උතුරු කොරියාවට මෙන්ම, ලෝකයටම ප්‍රගතිශීලි සුබ පුවතක් බවයි.