Gossips

තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණක් – ජනපති

තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රධාන අරමුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ දෙවැනි දිනය අදයි.
ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හි දී පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ විධායක සැසිවාරයක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ දූපත් රාජ්‍යයක් ලෙස මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා භූමියල වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සාක්ෂාත් කරගැනීමට ශ්‍රී ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය වෛද්‍ය සංගමය මගින් සංවිධානය කර තිබූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ඩිජිටල් වෛද්‍ය මධ්‍යස්ථානය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ද සහභාගි වුණා.
මේ අතර රාජ්‍ය නායකයින් වෙනුවෙන් දෙවැනි එළිසබත් මහ රැජින විසින් බකින්හැම් මාලිගයේ සූදානම් කර තිබූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වුණා.