Gossips

5 දෙනෙකුට මරු කැඳවූ හොරණ රබර් කම්හලේ කළමණාකරු අත්අඩංගුවට

5 දෙනෙකුට මරු කැඳවමින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කම්හලක සිදුවූ අනතුරට අදාළව එම ආයතනයේ කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එම රබර් කර්මාන්ත ශාලාවේ ගත යුතු ආරක්ෂක පියවර නොගෙන අපරීක්ෂාකාරීව ක්‍රියාකිරීම සහ ඒ හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියයාමට අදාළව කළමණාකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය ප්‍රකාශ කළා.
අනතුරෙන් පසු මේ වනවිට පුද්ගලයින් 34 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා හොරණ රෝහලට පැමිණ තිබෙනවා.
ඔවුන්ට ශ්වසන ආබාධ පවතින බවයිි රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
අද දහවල් සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය සදහා හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මේ අතර අනතුර සිදුවූ රබර් කර්මාන්තශාලාව ආසන්නයට ජනතාව පැමිණීම වැළැක්වීම සදහා ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළා.
පොලිසිය සඳහන් කළේ අද දහවල් 1.20 ට පමණ ඇමෝනියා සහිත ටැංකියකට වැටුනු පුද්ගලයෙකු බේරා ගැනීමට යාමේදී අනතුර සිදුව ඇති බවයි.
ටැංකියට වැටුනු පුද්ගලයා බේරා ගැනීම සඳහා පිරිසක් ගොස් තිබු අතර ඒ අතරින් 15 දෙනෙකු සිහිසුන්වී හොරණ රෝහලට ඇතුලත් කෙරුනා.
එහිදී 5 දෙනෙකු මියගොස් ඇතැයි සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.