Gossips

දකුණු වෙරළේදී සංචාරකයන්ට පහරදුන් තවත් තුන්දෙනෙකු අල්ලයි

වැලිගම – මිදිගම වෙරළ තීරයේදී පසුගිය 15 වනදා ඊශ්‍රායල ජාතිකයන් පිරිසකට පහරදීමේ සිද්ධියට ද පුද්ගලයින් තුන්දෙනෙකු වැලිගම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර නෙදර්ලන්ත සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් කිහිපදෙනෙකු පසුගිය 8 වනදා හිරිහැරවලට ලක්වූ මිරිස්ස ප්‍රදේශයේ හෝටලය පවත්වාගෙන යෑම අත්හිටුවීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියම කර තිබෙනවා.
මෙම හෝටලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එය අවසන් වනතුරු අදාළ හෝටලය වසා දැමීමටයි එම අධිකාරිය තීරණය කර ඇත්තේ.
එම නියෝගය අදාළ හෝටලයේ හිමිකරුට පෙරේදා දැනුම්දී තිබෙනවා.
කාමර 9 ක් සහ එකවර විදේශිකයන් 50කට ආහාර ගැනීමේ ඉඩ පහසුකම්ද ඇති භෝජනාගාරයක් සහිත මෙම හෝටලය 2011 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
පසුගිය 8 වනදා මෙම හෝටලය තුලදී නෙදර්ලන්ත සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් තුන්දෙනෙකුට හිරිහැර කිරීම සහ එම පිරිසේ සිටි විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතයි.