Gossips

සෞදියේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේහය ලංකාවට

සේවය කළ නිවසේ හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කළ සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මළ සිරුර අද දිවයිනට රැගෙන එනු ලැබුවා.
අද උදෑසන 6.15 ට පමණ දිවයිනට රැගෙන ආ දේහය විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් විසින් ඥාතීන් වෙත භාරදෙනු ලැබුවේ ඔවුන් සිරුර හඳුනාගැනීමෙන් අනතුරුවයි.
ගාල්ල – වදුරඹ – කටඹුරාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ප්‍රියංකා ජයසේකර නැමති මෙම තුන්දරු මව ඝාතනය කිරීමෙන් අනතුරුව හාම්පුතාද එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබුණා.
මේ අතර ඇයගේ මරණය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ලබාදීමටයි කටයුතු කර තිබෙනවා.
ඇය සේවය කළ නිවසෙන් වන්දි ලබාගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කරමින් පවතින බවයි එම කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
වෙඩි තැබීම සිදුකර සියදිවි හානිකරගත් හාම්පුතා, මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවටද අනාවරණ වූ අතර, සිද්ධියට අදාළ නඩු විභාගය නිසා එම කටයුතු ප්‍රමාදවිය හැකි බවද ඔහු කියා සිටියා.
මියගිය ප්‍රියංකා ජයසේකර සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස මීට වසරකට පමණ පෙර දිවයිනෙන් පිටව ගොස් තිබුණේ තම දියණියගේ අසනීප තත්වයකට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහායි.
ඇයට වෙඩි තැබූ 30 හැවිරිදි පුද්ගලයා ද පසුව එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන මිය ගොස් ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කර තිබුණේ.
කෙසේ නමුත් මියගිය කාන්තාවගේ පවුලේ ඥාතින් පවසන්නේ ඇය සේවය කළ නිවසේ මානසීක රෝගී පුද්ගලයෙකු සිටින බව දැන නොසිටි බැවින් මෙම මරණය සැක සහිත බවයි.