Gossips

යළි එක්වීම ගැන අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායමෙන් විශේෂ ප්‍රකාශයක්

යළි එක්වීම ගැන අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායමෙන් විශේෂ ප්‍රකාශයක් "
පොහොට්ටුවට එක්වීමක් නැතැයි නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම කියයි
තම කණ්ඩායම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.
එහි සාමාජික, හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විපක්ෂයේ අසුන් ගත් පසු පාර්ලිමේන්තුව තුළ නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැකගනිමින් ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමට තම කණ්ඩායම සූදානම් බවයි.
එසේම මැයි 8 වනදාට පෙර පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වුවහොත් 16 දෙනාට වැඩි පිරිසක් නව පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගනු ඇති බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
‘‘මැයි මාස 8 වැනිදා පාර්ලිමේන්තුව රැස් වුණාම අපි ස්ථිර වශයෙන්ම ඉද ගන්නෙ විරුද්ධ පක්ෂයේ. අපේ බලාපොරොත්තුව තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ප්‍රතිසංවිධානය කරන්න. මේකෙ නිලධාරි මණ්ඩලය වහාම වෙනස් කරන්න. මේකෙ ප්‍රධාන ලේකම්වරු දෙදෙනා අද හැසිරෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන මහා කේලම්වරුන් හැටියට මිසක් ලේකම්වරුන් හැටියට නෙවෙයි.
ප්‍රශ්නය :- හිටපු ජනාධිපතිතුමා ඊයේ කිව්වා ඔය 16 දෙනා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ කර ගන්න දැන් සූදානම් කියලා. ඔය 16 දෙනාගේ මතය මොකක්ද ඒ සම්බන්ධයෙන්.
විපක්ෂයට ගියායින් පස්සේ ඒකාබද්ධ විපක්ෂය නමින් ක්‍රියාත්මක වන්නාවූ කණ්ඩායමත් සමග සමහර කාරණාවලදී එකඟ වෙයි. සමහර කාරණාවලදී විරුද්ධ වෙයි. ඒ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය තහවුරු කරගනී. පැහැදිලිව අපි කියන්න ඕනා පොහොට්ටු පක්ෂයත් එක්ක කිසිම ආකාරයේ ගණුදෙනුවක් නැහැ.
ප්‍රශ්නය :- පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔබතුමන්ලා 16 දෙනා විතරද විපක්ෂයේ වාඩි වෙන්නෙ. නිදහස් පක්ෂයේ දැනට ඉන්න පිරිසකුත් ඔබතුමන්ලා එක්ක වාඩි වෙනවා ද?
ස්ථිර වශයෙන්ම මැයි මාස 8 වැනිදයින් පෙර මධ්‍යම කාරක සභාව රැස්වුණොත් 16 දෙනාට වැඩි පිරිසක් විරුද්ධ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් ඉද ගන්නවා ඇති.
ප්‍රශ්නය :- ජනාධිපතිතුමා පොරොන්දුවක් දීලා තියෙනවා ද ඔය 16 දෙනාගේ කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕනා කියලා බහුතර තීන්දුව ගත්තොත් එහෙම ඒකට කැමැත්ත දෙනවා කියලා.
ජනාධිපතිතුමා මධ්‍යම කාරක සභාවේ බහුතර තීන්දුවට කැමතියි. මධ්‍යම කාරක සභාවේ බහුතර තීන්දුව ජනාධිපතිතුමාගේ මොන දෙයක් සම්බන්ධයෙන් වුණත් විරුද්ධ නම් ඒත් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නෙ මධ්‍යම කාරක සභාවේ බහුතර තීන්දුව තමයි.
ප්‍රශ්නය :- නමුත් අර සරත් අමුණුගම මහත්තයාගේ කමිටුව ජනාධිපතිවරයා පත් කළේ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න ඕනා කියන මතයේ ඉදගෙන නේ ද ?
ජනාධිපතිතුමා සරත් අමුණුගම ඇමතිතුමාගේ ඒ කමිටුව පත් කළේ මම හිතන්නෙ ඒ ආණ්ඩුව ඇතුලෙ ඉන්න අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ආණ්ඩුව කරනවා නම් කරන්න ඕනා වැඩපිළිවෙලක් හදන්න.
ප්‍රශ්නය :- මධ්‍යම කාරක සභාවේදී ඔබතුමන්ලාගේ යෝජනාව ඉදිරිපත් කරනවා ද ඒ කියන්නේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා. ඊට අමතරව සරත් අමුණුගම මහත්තයා කමිටුවක් පත්කරලා තියෙනවා ඒ කමිටුවේ වාර්තාවත් මධ්‍යම කාරක සභාවට එන්න පුලූවන්. එතකොට ඔය දෙක ගැටෙනවා නේද එතනදී.
දැන් කට්ටියක් කියන්නේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් එලියට යන්න ඕනා කියලා. පිරිසක් කියනවා සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්න ඕනා කියලා. ඡන්දය නොදී හිටපු 26 දෙනාත් මේ වනකොට මේ මහා කේලම්වරුන් දෙදෙනා ගහපු ගේම් එක දැනගෙන විරුද්ධ පක්ෂයට එන්නත් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ ගැටුම වෙන එක වලක්වන්න බැහැ. හැබැයි ඒ ගැටුම හරහා ඇතිවන සාකච්ඡාවකින් පස්සේ මධ්‍යම කාරක සභාවේ බහුතරය විසින් තීන්දුවක් ගනීවි. ’’