Gossips

අවුරුදු නිවාඩු සමයේ අනතුරුවලින් 50ක් මරුට

අවුරුදු නිවාඩු සමයේ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පසුගිය 11 වන දා සිට 16 වන දා දක්වා කාලය තුළ සිදුවූ අනතුරු වලින් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
ඒ අතර කුඩා ළමයින් සහ කාන්තාවන් වැඩි වශයෙන් සිටින බවටයි පොලීසිය සඳහන් කළේ.
මෙම අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි ධාවනයේදී සිදුවූ අනතුරු බවට හඳුනාගෙන තිබෙනවා.
මේ අතර, ඊයේ පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ පමණක් බීමතින් රිය පැදවූ පුද්ගලයින් 382 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
මීට අමතරව අධික වේගයෙන් රිය ධාවනය කිරීම සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 413 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මේ අතර, වසරේ මුල් මාස 2 ක තුළ පමණක් දියේ ගිලීමෙන් පුද්ගලයින් 93 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සදහන් කළේ් පසුගිය වසර තුළ පමණක් දියේ ගිලීම්වලින් පුද්ගලයින් 728 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
විනෝද චාරිකාවල පැමිණි පිරිස් අනාරක්ෂිත ස්ථානවලින් ස්නානය කිරීමට යාමේදී පසුගිය දින කිහිපය තුළම දියේ ගිලීම් වාර්තා වුණා.
පසුගිය 7 වනදා මහනුවර – පන්විල ප්‍රදේශයෙන් හුළු ගගේ අතු ගංගාවක් වන දළු ඔයේ කළු පාලම අසල නෑමට ගිය පිරිසක් අතරින් පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම, හිනිදුම – නුගගල මංසන්ධිය අසලින් ගිං ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ මව, දියණිය සහ ඇයගේ යෙහෙළියන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්වූයේ ද පසුගිය මාර්තු මස 31 වනදායි.