Gossips

තවදුරටත් ගිගුරුම් සහිත වැසි

දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කිරීම හේතුවෙන් අම්බලන්තොට ප්‍රදේශයේ කුඹුරු අක්කර 150කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති බවට වාර්තා වනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ වලවේ ගඟේ මෝය කට වැලි වලින් අවහිර වී තිබීම නිසා කුඹුරු යාය මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි.
ඇතැම් කුඹුරුවල වේලි පවා කැඞී යාම නිසා යළි සකස් කිරීම සඳහා ගොවීන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.
පැවති අධික වර්ෂාවත් සමඟ උඩවලව ජලාශයේ වාන් දොරටු 5ම ඊයේ විවෘත කෙරුණු අතර එය මේ වන විට වසා දමා ඇති බවයි ප්‍රධාන ඉංජිනේරු සුජීව ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත්, යළි වර්ෂාව ඇතිවුවහොත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත්, අද රාත්‍රී කාලයේදීත් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව යන පළාත්වලට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.