Gossips

ඇප ලැබුණු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ බන්ධනාගාරයට

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීමෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඇප කොන්දේසියක් වූ මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය භාරදීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ අද (16) පස්වරුවේ ඇප මත මුදා හැරුණා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ඔහු රුපියල් 35,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.
මීට අමතරව ඔහුට අයත් විදෙස් ගමන් බලපත්‍රය ද අධිකරණයට භාරදීමට නියෝග කළා.
කෙසේ වෙතත්, ඔහුගේ විදෙස් ගමන් බලපත්‍ර වෙනත් නඩුවක් සඳහා කොළඹ මහාධිකරණයට ලබා දී ඇති බැවින් එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙනුයි මන්ත්‍රීවරයා බන්ධනාගාර ගත කර ඇත්තේ.