Gossips

තවදුරටත් ගිඟුරුම් සහිත වැසි සහ අකුණු

දිවයින අවට සක්‍රිය වී ඇති අන්තර් මෝසම් තත්ත්වය සමඟ ඇති වූ තද වැසි ලබන 18 වන දා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි පවතින අවස්ථාවල ඇති විය හැකි අකුණු අනතුරු සහ තද සුළං පිළිබද අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
අද (15) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්.
ඒ, මිලිමීටර් 84.5ක්.
ගම්පහ, කුරුණෑගල, ගාල්ල, රත්නපුර, පුත්තලම, නුවරඑළිය ආදී ප්‍රදේශවලට ද පසුගිය දින කිහිපය පුරා පැවති වැසි හේතුවෙන් ගස් කඩා වැටීම්, මාර්ග ජලයෙන් යටවීම ඇතුළු සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.
ඊයේ (14) පස්වරුවේ ඇති වූ අධික වැසි සමඟ කෑගල්ල – බෙරගල, ප්‍රදේශය හරහා හමා ගිය සුළඟකින් නිවාස 16කට පමණ හානි සිදුවී තිබෙනවා.
මේ අතර, බදුල්ල – කන්දකැටිය – පල්ලේවෙල සපත්තු පාලම හරහා ගමන් කරමින් සිටියදී සැඬ පහරට හසුවීමෙන් අතුරුදන්ව සිටි 46 හැවිරිදි කාන්තාවගේ සිරුර අද (15) උදෑසන සොයා ගත්තා.
ඊයේ (14) ඇය තම දියණියගේ නිවසට පැමිණෙන අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි ඇගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කලාවැව පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම – පරණ එළුවන්කුලම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (15)පස්වරුවේත් සීමා කර තිබෙනවා.
වර්ෂාව සමඟ උපරිම ජල මට්ටමට ළඟාවීම හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 5ම අද පෙරවරු 10ට විවෘත කෙරුණා.
මේ වන විට තත්පරයට ඝන අඩි 6000ක ජල ධාරිතාවක් වලවේ ගඟට මුදා හැරෙන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්ය භාර ඉංජිනේරු හා නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව ගුණසේකර ප්‍රකාශ කළේ.
එමෙන්ම මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ද ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.