Gossips

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අදයි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්තිය අද (15) සිදු කෙරෙනවා.
මේ අතර අද පැවති කාන්තා මැරතන් ධාවන තරගයේදී 11 වන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හිරුණි කේසරා විජේරත්න සමත්වුණා.
ඇය ඒ සඳහා ගතකළ කාලය පැය 2 යි විනාඩි 49 යි තත්පර 38 ක්.
නැමීබියාවේ හෙලාලියා ජොහෑන්ස් පැය 2 යි විනාඩි 32 යි තත්පර 40 කින් ඉසව්ව නිම කර පළමු තැන හිමිකරගත් අතර, දෙවන සහ තුන්වන ස්ථාන හිමිවූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ටයි.
පිරිමි මැරතන් ධාවන තරගයේ ප්‍රථම ස්ථානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මයිකල් ෂෙලීට හිමිවූ අතර, ඒ සඳහා ඔහු ගතකළ කාලය පැය 2යි විනාඩි 16 යි තත්පර 46 ක්.
උගන්ඩාවේ ක්‍රීඩකයෙකුට එහි දෙවන ස්ථානය හිමිවී තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (14) තමන් සහභාගිවූ තුන්වන තරඟයෙන්ද ශ්‍රී ලංකා රග්බි පිල පරාජය ලැබුවා.
පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකා පිල, ඔලිම්පික් රන් පදක්කම් ලාභී ෆීජී කණ්ඩායම අතින් පරාජයට පත්වූයේ ලකුණු 63 ට 5 ක් ලෙසින්.
දෙවන තරඟයේදී ප්‍රබල වේල්ස් කණ්ඩායම අතින් ශ්‍රී ලංකාව ලකුණු 42 ට 12 ක පරාජයක් ලැබුවා.
ඊයේ උගන්ඩාව සමග පැවති තරඟයේදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ලකුණු 33 ට 10 ක පරාජයක්.
මේ අතර 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 78 ක් සමඟ පදක්කම් 194 ක් දිනූ ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින අතර, රන් පදක්කම් 43 ක් ඇතුලුව පදක්කම් 130 ක් ලබා සිටින එංගලන්තය දෙවන ස්ථානයේ පසුවනවා.
රන් පදක්කම් 26 ක් සමඟ පදක්කම් 65ක් හිමිවූ ඉන්දියාවට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි.
රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05 ක් සමග පදක්කම් 06 ක් දිනූ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 31 වන ස්ථානයේයි.