Gossips

උදයංග වීරතුංග මෙරටට ගෙන ඒම ප්‍රමාද වන ලකුණු

ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් මතුව තිබෙනවා.
මේ නිසා ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒම තවත් ප්‍රමාද වනු ඇති බවයි වාර්තා පළ වන්නේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිරීතිවලට අනුව නිල දැනුම්දීමක් ලබාදෙනතුරු ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වන බවත් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ලැබෙන බවත් ඔහු කියා සිටියා.
ඇමරිකා එක්සත් ජනපදය බලා ගමන් කරමින් සිටියදී උදයංග වීරතුංග ඊයේ ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසිය මගින්.
මිග් යානා ගණුදෙනුවට අදාළව අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් සිදුකරනවා.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කළා.
මේ අතර උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සිදුකළ හැක්කේ තානාපති සබඳතා යටතේ පමණක් බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර පොලීසිය මගින් වෙනත් රටකදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු තවත් රටකට භාරදීමට අදාළ උදර්පන නීතියට ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග මෙතෙක් ගිවිසුම් ගතවී නොතිබීම ඊට හේතුව බවයි ඔහු කියා සිටියේ.