Gossips

උත්සව සමයේදී දිය නෑමට යන අයට පොලිසියෙන් උපදෙසක්

උත්සව සමයේදී දියේ ගිලීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
පසුගිය දිනවල දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ කිහිපයක් පිළිබඳ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුනා.
මේ දිනවල පවතින වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග ගංගා ඇළ දොල ආදියෙහි දිය නාමින් සිටින විට එක්වරම විශාල ජල ධාරාවන් ඇතිවීමේ හැකියාව පවතින බව පොලිසිය සඳහන් කළා.
එබැවින් තමන් නොදන්නා ස්ථානවල දිය නෑමට යාමෙන් වළකින ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.
ජීවිතාරක්ෂක නිලධාරීන් සිටින ස්ථානවලින් දියට බැසීම සහ දිය නෑම සිදුකරන ලෙසට ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කෙරෙනවා.
අනතුරුදායක ස්ථානවල සවිකර ඇති දැන්වීම්වල උපදෙස් පිළිපදින ලෙසට ද පොලිසිය උපදෙස් දී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ 2016 වසරේදී පුද්ගලයන් 877 ක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බවයි.
ඒ අතර කාන්තාවන් 177 ක් සහ වයස අවුරුදු 19 ට අඩු ළමුන් 105 ක් ද වනවා.
2017 වසරේදී පුද්ගලයන් 727 ක් දියේ ගිලීම් හේතුවෙන් මියගොස් ඇති අතර කාන්තාවන් 150 ක් මෙන්ම අවුරුදු 19 ට අඩු ළමුන් 100 ක් වන බව සඳහන්.
මෙම වසරේ පළමු මාස දෙක තුල පමණක් දියේ ගිලීම් හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 93 ක්.
පොලිසිය පෙන්වා දෙන්නේ මෙම මරණවලින් වැඩි සංඛ්‍යාවක් එම පුද්ගලයන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූ මරණ බවයි.
මේ අතර පසුගියදා පන්විල ප්‍රදේශයේදී ද දිය නෑමට ගිය 5 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුනා.
එම අනතුර ද සිදුවී තිබුනේ ඔවුන් දියනාමින් සිටි ස්ථානයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන්.