Gossips

නව කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අද පස්වරුවේ පත්වන ලකුණු

කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක දිවුරුම් දීම් අද පස්වරුවේ සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් දැනට පුරප්පාඩුව පවතින රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීම සිංහල සහ දෙමල අලුත් අවුරුද්දෙන් පසු සිදුවනු ඇති බවයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනෙකු සහ නියෝජ්‍ය කතානායකවරයා ඊයේ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළා.
ඒ අනුව පුරප්පාඩු වී ඇති කැබිනට් අමාත්‍ය ධුර බොහෝ දුරට දැනට ආණ්ඩුවේ සිටින නිදහස් පක්ෂ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හිමිවනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ.
මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡාවක නිරතවී තිබෙනවා.
එහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ තමන් ඉදිරියටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටින බවයි.
පසුව ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර, එහිදී ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාව යළි ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටි බව එම හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.