Gossips

ප්‍රාදේශීය සභා කිහිපයක මංගල රැස්වීම් උණුසුම්

පළාත්පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ ගම්පල – උඩපලාත ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද හිමිකරගත්තා. ඒ, එක්සත් ජාතික පක්ෂයේද සහය ඇතිවයි.
මෙම ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට සූදානම්ව සිටියද එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ඩී.ජී. ගුණසේනගේ නම පොදුජන පෙරමුණ යෝජනා නොකිරීමත් සමඟ එම තත්ත්වය වෙනස් වී තිබෙනවා.
පසුව එක්සත් ජාතික පක්ෂය ඔහුගේ නම යෝජනා කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එම තනතුර සඳහා ඉදිරිපත්වුණේ ධර්මසිරි අගලවත්තයි.
පැවති රහස් ඡන්දයේදී වැඩි ඡන්ද 10 කින් ගම්පල – උඩපලාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ඩී.ජී. ගුණසේන තේරී පත්වුණා.
මේ අතර පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ.ජී. රණසිංහ බණ්ඩාර අද තේරී පත්වුණා.
ඒ, සඳහා පැවති ඡන්ද විමසීමේදි පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට වඩා ඔහුට වැඩි ඡන්ද 4ක් හිමිවී තිබෙනවා.
මේ සඳහා පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනා, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා, දෙමළ සන්ධානයේ සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනා ඒ.ජී. රණසිංහ වෙනුවෙන් ඡන්දය භාවිත කළා.
පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ඩබ්ලිව්. ජයසිරි මන්ත්‍රීවරයා වෙනුවෙන් ඡන්දය භාවිතා කළේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනා පමණයි.
එහි උප සභාපතිනිය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රකාන්ති දසනායක තේරී පත්වුණා.
වත්තල ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරය අද උණුසුම් වුණේ ආසන ගැටළුවක් මුල් කරගනිමින්.
එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ ත්‍යාගරත්න ද අල්විස් පසුගියදා තේරී පත්වූ අතර, ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද ඔහුට පක්ෂව ඡන්දය භාවිත කළා.
අද පැවති සභා වාරයේදී ඔවුන් එක්සත් ජාතික පක්ෂයට හිමි ආසනවල අසුන් ගැනීමත් සමඟ සභාපති ධුරයට තරග කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අනුර පතිනායක ඇතුලූ මන්ත්‍රී කණ්ඩායම දැඩි විරෝධයක් පළ කළා.
මේ අතර භාෂා ගැටළුවක් මුල් කරගනිමින් ගාල්ල මහ නගර සභාවේ මංගල සභා රැස්වීම අද උණුසුම් වුණා.
මුස්ලිම් කොංග්‍රසයේ එම්.එම්.එෆ්. රිහානා මන්ත්‍රීවරිය තමන්ට සිංහල භාෂාව උච්චාරණය කිරිම ගැටළු සහගත බව පවසමින් භාෂා පරිවර්තකයෙක් ඉල්ලා සිටියද සභාව තුළ භාෂා පරිවර්තකයෙකු සිට නැහැ.
පසුව මන්ත්‍රීවරිය සිය කථාව අඛන්ඩව සිදුකළ අතර, එහිදී නිදහස් සන්ධාන මන්ත්‍රී පී.එල්. දේශප්‍රිය නැගී සිටිමින් ප්‍රකාශ කළේ මන්ත්‍රීවරියගේ කථාව තමන්ට නොතේරෙන බවයි.
අනතුරුව මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළකිරීම නිසා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සභාව තාවකාලිකව කල් තැබීමට පියවර ගත්තා.
මහව ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරයද අද පැවැත්වුණු අතර, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැස්වීම වර්ජනය කර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ඒ, එක්සත් ජාතික පක්ෂයේ සහය ලබාගෙන සභාපති ධුරයට පත්වූ පොදුජන පෙරමුණේම එච්.ඒ.පියසේනට විරෝධය පළ කරමින්.
මේ අතර පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් මත මඩකලපුව – කෝරලේපත්තු උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. කෝණලිංගම් අද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.