Gossips

හයිද්‍රාබාද් පිල ඉදිරියේ රාජස්ථානයේ රජවරුන් දණ නමයි

2018 අයි.පී.එල්. තරඟාවලියේ සිව් වන තරඟය ඊයේ (09) පැවැත් වුණා.
හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩයම පරාජය කරමින් ජයග්‍රණය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනූ හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන්ගේ පළමුව පන්දුවට පහර දීමට රාජස්ථාන් කණ්ඩායමට ආරාධනා කළා.
කේන් විලියම්සන්ගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින්, රාජස්ථාන් රෝයල්ස් පිත්කරුවන් පන්දුවාර 20 තුලදී කඩුලු 09කට ලකුණු 125කට සීමා කරන්නට සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යවන්නන්ට හැකියාව ලැබුනා.
රාජස්ථාන් පිලේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වුනේ සංජු සැම්සන් පමණයි.
ඔහු පන්දු 42කදී හතරේ පහර 05ක් සමඟ ලකුණු 49ක් රැස් කළ අතර අර්ධ ශතකයට එක් ලකුණක් ලබා ගැනීමට තිබියදී ෂකීබ් අල් හසන්ගේ පන්දුවකට රෂිඩ් ඛාන් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.
සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් ලකුණු 20 සීමාව පසුකරන්නට හයිද්‍රාබාද් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී සිද්ධාත් කාල් සහ ෂකීබ් අල් හසන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.
ලකුණු 126ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් පිතිකරුවන් පන්දුවාර 15යි පන්දු 05ක් තුල එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
හයිද්‍රාබාද්එහිදී අරම්භක පිත්කරු ශිකර් ධාවාන් නොදැවී ලකුණු 77ක් රැස් කළා.
පන්දු 57ක් තුල ගොඩ නැගුනු ඔහුගේ ඉනිමට එක හයේ පහරක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.
සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මාවත සකසා දීමට ශිකර් ධාවන්ට අනෙගි සහයක් ලබා දුන් කේන් විලියම්සන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්.
දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 87කදී ලකුණු 120ක සම්බන්ධතාවයක් ගොඩනගන්නට ධාවාන් සහ විලියම්සන් සමත් වුණා.
මෙවර තරඟාවලියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුනු පළමු හොඳම සම්බන්ධතාව මෙය වනවා.
තරඟයේ වීරයා සම්මානය පන්දු 57ක් තුල ලකුණු 77ක් රැස්කළ ශිකර් ධාවන්ට හිමි වුණා.
ඊයේ තරඟ වැදුණු මෙම කණ්ඩායම් දෙකේ නායකයන් තෝරා ගනු ලැබුවේ තරඟාවලිය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී වීම විශේසත්වයක්.
එයට හේතු වුනේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට පත්කර සිටි ස්ටීවන් ස්මිත් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය හෙබවූ ඩේවිඩ් වෝනර් හට මෙවර තරඟාවලියෙන් ඉවත්විමට සිදුවීමත් සමඟයි.
ඒ අනුව රාජස්ථාන් නායකත්වයට අජික්‍යා රහානි පත් කෙරුණු අතර සන්රයිසස් කණ්ඩායමේ නායකත්වය වෙනුවෙන් කේන් විලියම්සන් කැඳවන්නට කටයුතු කළා.