Gossips

ලක්ෂ 150ක මැණිකක් අලෙවි කිරීමේ සිද්ධියට සිව් දෙනෙකු අත්අඩංගුවට

විකිණීම සඳහා රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 150ක පමණ වටිනාකමකින් යුත් මැණික් ගලකට ව්‍යාජ ගලක් හුවමාරු කළ පුද්ගලයෙකු පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (08) අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මීට පෙර මෙම සිද්ධියට පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
මොවුන් ගාල්ල සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන්.
දෙනියාය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇලෙක්සැන්ඩර් වර්ගයට අයත් මෙම මැණික් ගල වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමට ගල්කිස්ස ප්‍රදේශයට රැගෙනවිත් තිබුණේ පසුගිය පෙබරවාරි මස 15 වනදායි.
මන්නාරම ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු මෙම මැණික් ගල මිලදී ගැනීමට පැමිණි බව හගවා ඒ වෙනුවට ව්‍යාජ ගලක් මෙම ව්‍යාපාරිකයාට ලබාදී තිබෙනවා.
පසුව මේ පිළිබඳව අදාල ව්‍යාපාරිකයා ගල්කිස්ස පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.
ඒ අනුවයි පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.
මෙම ව්‍යාජ ගණුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙලිව ඇත්තේ මෙම මැණික් ගල තවත් පුද්ගලයෙකුට උකස් කර ඇති බවටයි.
ඒ අනුව මැණික් ගල උකසට ලබා ගත් පුද්ගලයා මෙලෙස ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබුවා.