Gossips

ජලාශ සහ ගංඟාවල, ස්නානය කිරීමෙන් වළකින්නැයි උපදෙස්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපෑ ඇති වැසි සහිත කාලගුණයත් සමඟ ජලාශ සහ ගංඟා වල ජල මට්ටම විටින් විට ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
උත්සව සමයත් සමඟ ජනතාව ජලාශ සහ ගංඟා ආශ්‍රිත ප්‍රදේශවල විනෝද චාරිකා ගොස් දිය නෑමට කැමැත්තක් දක්වන අතර මේ නිසා ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානය උපදෙස් ලබාදෙන්නේ.
පසුගිය දින කිහිපය තුළ ජලාශ සහ ගංඟා ආශ්‍රිත ප්‍රදේශවල දිය නෑමට ගොස් අවාසනාවන්ත ලෙස දියේ ගිලී මිය යාමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.
ඊට ආසන්තම සිදුවීම පසුගිය සෙනසුරාදා වාර්තා වුණේ මහනුවර – පන්විල ප්‍රදේශයෙන්.
ඒ, හුළු ගඟේ අතු ගංඟාවක් වන දළු ඔයේ කළු පාලම අසල දිය නෑමට ගොස් තරුණියන් තුන්දෙනෙකු සහ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.
ඔවුන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ ඊයේ (08) මහනුවර මහ රෝහලේදී සිදුකෙරුණු අතර, එහිදී මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී සී. සිව සුබ්‍රමනියම් ඉල්ලා සිටියේ ජලාශවල දියනෑමට යාමේදී ජනතාව සැලකිලිමත් වන ලෙසටයි.
මේ අතර, අද (09) දිනයේදීත් සවස් කාලයේ දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.