Gossips

අමාත්‍ය ධුරවල ඉන්නවා ද? නැද්ද ? තීරණයක් ගන්න නිදහස් පක්ෂය අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා විශේෂ රැස්වීමක් අද (09) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි.
පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති නිළ නිවසේදීයි.
එහිදී අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා තවදුරටත් ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන්නේ ද ? නැද්ද යන්න පිළිබදව මෙහිදී තීරණයක් ගනු ඇති බවයි අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් පෙරේදා රාත්‍රියේ ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදියි.
මේ අතර, විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පක්ෂයෙන් ඉවත්ව නොයන බවට මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඒ, වීරකැටිය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
එමෙන්ම ජාතික ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි භූමිකාව පිළිබදව ද අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.
කෙසේ වෙතත්, එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කොළඹ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.