Politics Sri Lanka

දෙහිඅත්තකණ්ඩිය ශ්‍රීලනිප අපේක්ෂක කණ්ඩායමේ සහාය ජවිපෙට

දෙහිඅත්තකණ්ඩිය ශ්‍රීලනිප අපේක්ෂක කණ්ඩායමේ සහාය ජවිපෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් අම්පාර දිස්ත්‍රික්කට තරඟ කිරීම සඳහා ඉදිරිපත් වී තිබූ අපේක්ෂක කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක කණ්ඩායම වෙත සහාය පල කිරීමට ඒකමතිකව තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සිය මතය පල කිරීමේ මාධ්‍ය හමුවක අද (04) දින දෙහිඅත්තකණ්ඩිය ‘නුගසෙවන ගෙස්ට්’ හිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක කණ්ඩායමේ නියෝජිතයින් විසින් පවත්වා තිබේ.

එම අවස්තාවට දෙහිඅත්තකණ්ඩිය ශ්‍රීලනිපයේ සංවිධානයක ජී.ආර්. නිමල්, හිටපු සන්ධාන මන්ත්‍රී, අපේක්ෂක එම්.පී. සරත් කුමාර, අපේක්ෂක ටී. පියදාස, අපේක්ෂක එච්.ජී. උපුල් නවරත්න යන මහත්වරු සහ එක්සත් ජාතික පක්ෂයේ දෙහිඅත්තකණ්ඩිය හිටපු සංවිධායක, ශ්‍රීලනිප අපේක්ෂක එස්.එච්. සුගතපාල යන මහත්වරු එක්වී සිටියහ.

එහිදී මාධ්‍ය ඇමතූ ශ්‍රීලනිප අපේක්ෂක ටී. පියදාස මහතා සඳහන් කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාලනය කරමින් රටට ආදර්ශයක් දුන් ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමට දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේද බලය ලබාදීම සඳහා ඡන්දය පාවිච්චි කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දෙහිඅත්තකණ්ඩිය හිටපු සංවිධායක, ශ්‍රීලනිප අපේක්ෂක එස්.එච්. සුගතපාල මහතා සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිමින් සඳහන් කර සිටියේ වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවෙන් දැක ගැනීම උදෙසා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති දක්ෂ තරුණ කණ්ඩායමට බලය ලබාදීම සඳහා ඡන්දය පාවිච්චි කරන ලෙස ය.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් ඉදිරිපත් කළ ලයිස්තුවේ ඇතිවූ දෝෂ සහගත තත්වයක් නිසා එම ලයිස්තුව ප්‍රතික්ෂේප විය.