Gossips

විදුහල්පතිනිය දණ ගැස්වූ, ඌව මහඇමතිගෙන් හිමි නමකටත් තර්ජන

විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හිමි නමකට තර්ජනය කොට පහරදීමට උත්සාහ දරණ වීඩියෝ පටයක් මේ වන විට සමාජජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා.
එහිදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා ගොඩනැගිල්ල තුළ දී අදාළ හිමිනමට බැන වැදී පහරදීමටයි තැත් කර ඇත්තේ.
මීට මාස දෙකකට පමණ පෙර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හමුවීම සඳහා පළාත් සභා පරිශ්‍රය තුළට පැමිණ තිබෙනවා.
එහිදී එම පිරිසට සාකච්ඡාවක් සඳහා පළාත් සභා ගොඩනැගිල්ල තුළට පැමිණි අවස්ථාවේදී තමන්ට මෙලෙස පහරදීමට උත්සාහ දැරූ බවයි එම සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට අද අදහස් දක්වමින් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගෙන් විමසීමක් කළා.
ඔහු සඳහන් කළේ මෙම සිදුවීම පැරණි එකක් වන අතර, තමන් එම අවස්ථාවේදී හිමි නමට පහරදීමක් සිදුනොකළ බවයි.
මැතිවරණය ඉලක්ක කර ගනිමින් කරළියට පැමිණෙන මෙවැනි සිදුවීම් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන මඩ ප්‍රචාර බව ද ඔහු කියා සිටියා.