Gossips

කගිසෝ රබාඩාට මාස 3ක විවේකයක්

දකුණු අප්‍රිකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාට මාස 3 ක කාලයක් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවී තිබෙනවා.
ඒ ආබාධ තත්වයක් හේතුවෙන්.
ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමට ද ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම කගිසෝ රබාඩා ජනවාරි මාසයේ පැවති වෙන්දේසියේදී මිලදී ගනු ලැබුවේ අමරිකානු ඩොලර් 646,000 කට හෙවත් ඉන්දීය රුපියල් කෝටි 4.2 ක මුදලකටයි.
ඔස්ට්‍රේලියාව සමග ජොහැන්නස්බර්ග් නුවර පැවති 4 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ආබාධ තත්වය පිළිබඳ වේග පන්දු යවන්නා පුහුණුකරුවන් දැනුවත් කර තිබුනා.
එම තරගයේ ඔස්ට්‍රේලියා දෙවන ඉනිමේදී ඔහු යවනු ලැබුවේ පන්දුවාර 8 ක් පමණයි.
දකුණු අප්‍රිකා කණ්ඩායම් කළමණාකරු සඳහන් කර ඇත්තේ ජුලි මාසයේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියට කගිසෝ රබාඩා එක්කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
ඔහුට මාසයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම විවේක ගත යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අතර ඉන් අනතුරුව යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂා කරන බවයි කණ්ඩායම් කළමණාකරුවා ප්‍රකාශකර ඇත්තේ.
දකුණු අප්‍රිකා කණ්ඩායම ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වන අතර එහිදී ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 5 ක් සහ 20 යි 20 තරගයක් පැවැත්වීමට නියමිතයි.